Tuesday, December 24, 2024

රජරට නියඟයට තිරසර විසඳුම මොරගහකන්ද හා ඇළහැර ඇළ

රජරට ප්‍රදේශවල මේ දිනවල දරුණු නියඟයකි. රජරට ප්‍රධාන වැව්වල ජලාශවල මේ දිනවල ඇත්තේ මුළු ජල ධාරිතාවෙන් සියයට 20 ක් පමණි.

මෙරට මෑත ඉතිහාසයේ ක්‍රියාත්මක විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමය වන මොරගහකන්ද – කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයෙන් හා ඉහළ ඇළහැර වාරි ඇළ මඟින් මේ නියඟයට තිරසර විසඳුමක් ලබාදීමට හැකි බව මහවැලි අමාත්‍යාංශ ලේකම් උදය සෙනෙවිරත්න මහතා පවසයි.

පසුගිය 11 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට වසර 30කට පසු ඉදිකළ ලොකුම ජලාශය වූ මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම ආරම්භ කළේය.

ඒ සමඟම මෙරට දිගම ඇළ වූ ඉහළ ඇළහැර වාරි ඇළේ ද වැඩ ඇරැඹිණි. එහි දිග කි. මී. 103කි. මොරගහකන්ද ජලාශයේ ජලය මේ ඇළහැර වාරි ඇළ ඔස්සේ ගලා යන විට රජරට ජනතාවට මාතලේ නකල්ස් වැනි රක්ෂිත ඔස්සේ ගලා බසින සුපිරිසුදු ජලය බීමට හා වගාවට ලැබෙනු ඇත.

ඒ ජලය ලැබෙන්නේ 11 වැනිදා වැඩ ආරම්භ කළ ඉහළ ඇළහැර මහ වාරි ඇළ මඟිනි. මොරගහකන්ද ජලාශය මෙරට වසර 30කට පසු ඉදිකළ විශාලතම ජලාශයයි. එහි ධාරිතාව අක්කර අඩි 463000 කි. එමෙන්ම ඉහළ ඇළහැර වාරි ඇළ මෙරට ඉදිවන විශාලතම හා දිගම වාරි ඇළයි. මොරගහකන්දේ සිට මහකනදරාව දක්වා ඉදිකරන මෙහි දිග කිලෝමීටර් 103කි. පළල අඩි 40කි. මින් මුළු අනුරාධපුරයේ සියලු වැව්වලට දියවර ලැබේ.

මේ වැඩසටහන් දෙක වනාහි මෙරට පරිසර සංරක්ෂණයටද කෙළින්ම බලපාන ව්‍යාපෘති දෙකකි. මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය ආරම්භ කරන විට ද එමඟින් පරිසර හානියක් වනු ඇතැයි යම් යම් මත ප්‍රකාශ කළ ද මොරගහකන්ද ව්‍යාපෘතියේ ක්‍රියාකාරී සැලැස්මට පරිසර සංරක්ෂණය පිළිබඳව මෙන්ම වැඩ සටහනක් එක්වීම නිසා. මෙම ව්‍යාපෘතිය ඍජුවම පරිසර සංරක්ෂණයට දායක වන බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

මේ ව්‍යාපෘතිය රටේ සංවර්ධනය මෙන්ම ඇළහැර ප්‍රදේශයේ මාතලේ හා පොලොන්නරුව ප්‍රදේශයේ පාරිසරික සංරක්ෂණයට සිදු කරමින් පවතින කාර්යභාරය අතිවිශාලය.

මේ නව පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය අනුව ඒ අවට වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් ඇතුළු වන ජීවින් සුරැකීම පිණිස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමක් අස්සන් කර ඇතැයි මොරගහකන්ද ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්. බී. තෙන්නකෝන් මහතා පවසයි.

මොරගහකන්ද ව්‍යාපෘතියේ වැදගත්ම දෙය වන්නේ ව්‍යාපෘතිය ඉදිකර අවසන් වූ පසු පරිසර සංරක්ෂණයට හා ජල පෝෂක සංරක්ෂණය සඳහා නවතම වැඩ පිළිවෙළක් සැලසුම් කිරීමයි. ඒ අනුව මොරගහකන්ද ජලාශය අවට කිලෝමීටර් 783ක්වූ ජල පෝෂක ප්‍රදේශයට කළු ගඟ ජලාශය වටා කිලෝමීටර් 128ක්වූ ජල පෝෂක ප්‍රදේශය ද සංරක්ෂණය කරනු ලැබේ. මීට අමතරව මේ ජලාශ දෙක වටාම ඇති ඉහළම ජල මට්ටමේ සිට පිටතට මීටර් 100ක් පළල හරිත තීරුවක් හෙවත් ස්වාරක්ෂක කලාපයක් ඇති කිරීමට ද කටයුතු කෙරේ.

මේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ඉහළ ඇළහැර ඇළ මොරගහකන්දේ ගබඩා වන අක්කර අඩි 463000ක ජල ප්‍රමාණයෙන් සියයට 50ක් පමණ රජරටට යවනු ලැබේ.

මේ ඉහළ ඇළහැර ඇළේ මුළු දිග කිලෝමීටර් 103 කි. පළල අඩි 40 කි. මේ ඇළ මෙරට වාරි ඉතිහාසයේ ඉදිවන විශාලතම හා දිගම වාරි ඇළයි. එයින් ලැබෙන ජලායෙන් අනුරපුරයේ වැව් සියල්ලට ජලය ලැබේ. අවසානයේ මහකනදරාවට ලැබෙන ජලය ඉන්පසු උතුරුමැද මහ ඇළ ඉදිකර ඒ ඔස්සේ ත්‍රිකුණාමලයට හා යාපනය දක්වා යැවීමට කටයුතු කෙරේ.

මේ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පෞද්ගලික මෙහෙයවීම මත ඉදිවූ මොරගහකන්ද සමුද්‍රය කළුගඟ ජලාශය මඟින් රජරට හා නැ‍ඟෙනහිර අලුත් ඉඩම් අක්කර ලක්ෂ දෙකහමාරක් යල මහ අස්වද්දනු ලැබේ. අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මාතලේ, වවුනියාව දිස්ත්‍රික්කවල සියලු ජනතාවගේ පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය ද ලබා දෙයි. මේ දිනවල තිබෙන නියඟය වැනි නියඟ තත්ත්වයක් යළි ඇති නොවීමට මේ ව්‍යාපෘති දෙකම හේතු වනු ඇතැයි රජරට වාසීන්ගේ අපේක්ෂාවයි.

මේ නව ව්‍යාපෘතිය මඟින් වසරකට රුපියල් ලක්ෂ 500 ක පමණ ප්‍රතිලාභ රටට ලැබේ. මෙහි ඍජු ප්‍රතිලාභ ලෙස වී අස්වැන්න ඉහළ යන අතර අතිරේක කෘෂි නිපැයුම ටොන් 123000ක් දක්වා ඉහළ යනු ඇත.

ජලාශ දෙකේ වාර්ෂික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන හැකියාව ටොන් 4700 ලෙස ඇස්තමේන්තුගත කර ඇත. ව්‍යාපෘතිය නිසා මිනිස් දින මිලියන දෙකකට අධික රැකියා අවස්ථා උදා විය.

ප්‍රධාන වේල්ල හා සඳැලි වේලි දෙකකින් ක්‍රියාත්මක මේ මොරගහකන්ද ජලාශය පිරුණු පසු ඉහළ ඇළහැර ඇළටත් විදුලි බලාගාරයටත් දියවර නිකුත් කරන්නේ සඳැලි වේලි අංක 1 මඟින්ය. එය ද මහ වේල්ල ආසන්නයේම ඉදි කර ඇත.

මීට අමතරව මොරගහකන්ද ව්‍යාපෘතිය මඟින් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 30ක විදුලි බලයක් ද එක් වෙයි. එය මෙරට දැනට ඉදිකළ අවසන් ජල විදුලි බලාගාරය ද වෙයි. ගල් අඟුරු හා ඉන්ධන දල්වා පරිසරය දූෂණය කිරීම් හා පිටරටට විදේශ විනිමය යවා පිටරටියන් තර කිරීම වෙනුවට මේ ජල විදුලි බලාගාරය ඉදිකිරීමත් පරිසර හිතකාමී කටයුත්තකි.

මේ අනුව මොරගහකන්ද කළුගඟ බහුකාර්ය යෝජනා ක්‍රමය වනාහි මෙරට අලුත් ඉඩම් අස්වැද්දීම, ජල සංරක්ෂණ, පරිසර සංරක්ෂනය, ඉඩම් හා මිරිදිය ධීවර සංවර්ධනය කුඹුරු අස්වැද්දීම ජල විදුලිය ලබාදීම වැනි තිරසර රටක් උදෙසා වන සකලාංගවලින් සමන්විත වූ ව්‍යාපෘතියක් බව කිව යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles