Monday, December 23, 2024

රටම අඳුරට වැටෙයි! විදුලි කැපිල්ලක් අතළඟ

සපුගස්කන්ද තාප විදුලි බලාගාරය වසා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුවනු ඇතැයිද සමස්ත ලංකා විදුලි සේවක සංගමය පවසයි.

ඩොලර් හිඟය මත ගල්අඟුරු හා තෙල් මිලදී ගැනීමට නොහැකිවීම මීට ප්‍රධාන හේතුව බවත් මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව හා සපුගස්කන්ද තාප විදුලි බලාගාරයද වසා දමා ඇති බවත් ඊට අවශ්‍ය ඩීසල් ලබාගන්නේ තෙල් සංස්ථාවෙන් වුවත් ඩොලර් හිඟය නිසා සංස්ථාවෙන් තෙල් ලබානොදෙන හේතුව මත මෙම තත්ත්වය බරපතළ වී ඇති බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

පහුගිය දිනවල පැවැති අධික වර්ෂාව ආධාරයෙන් විදුලිය සැපැයුවත් ජලාශවල රොන්මඩ පිරී ඉතිරී ඇති බැවින් තවත් ගැටලුවක් ඉස්මතු වී ඇති බව සමස්ත ලංකා විදුලි සේවක සංගමය පවසයි.

කෙසේ නමුත් නොරොච්චෝලයේ මෙගාවොට් 300 ක ධාරිතාවක ඇති බලාගාර තුනක් තිබුණත් ඩොලර් ප්‍රශ්නය මත ඒ පිළිබඳවද විශ්වාසය තබා ගත නොහැකි බව ද සමස්ත ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.

ඩොලර් හිගය හේතුවෙන් අවශ්‍ය ප‍්‍රමාණයට බොරතෙන් සම්පාදනය කිරීමේ ගැටුළුවක් මතුව ඇති බැවින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවන බව විෂයභාර අමාත්‍යවරයා මීට පෙර අවස්ථාවක ප‍්‍රකාශ කර තිබුණි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් රටට අවශ්‍ය භූමිතෙල් සැපයුම අඩාල වන්නේ නම්, භූමිතෙල් සඳහා විකල්පයක් ලෙස, ජෙට් යානා ධාවනයට යොදා ගන්නා ඉන්ධන ආනයනය කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍යංශයද පසුගියදා සඳහන් කළා.

මෙි අතර විදුලිබල මණ්ඩලය දිගුකාලීන සැලසුම් ක‍්‍රියාත්මක නොකිරීම නිසා ජනවාරී මැද පමණ වනවිට රටේ විදුලි අර්බුදයක් ඇතිවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

විදුලි ඉංජිනේරුවන් විසින් රටේ විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා කෙටිකාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් ඉදිරිපත් කළත් එය කනකට නොගෙන කටයුතු කළ නිසා ජනවාරියේ මෙම විදුලි අර්බුදයට මුහුණ දීමට සිදුවන බව ද ඔහු කීය.

මේ වනවිට ආරම්භ කළයුතු මෙගා වොට් 100ක සුළං බලාගාරයක් සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර 2017 සිට ඉඩම් අත්පත් කරගනිමින් සිටින බවත් ඒ ආකාරයෙන්ම කෙරවලපිටියේ මෙගා වොට් 350ක සුළං බලාගාරය ඉදිකිරීම් ආරම්භ කළත් එය ද අවසන්ව නැතැයිද ඔහු කීය.

එමෙන්ම සූර්ය බලශක්තියෙන් මෙගා වොට් 150ක බලාගාරයක් ඉදිකිරීම සඳහා ඉඩම් ලබාගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩලයේ සියලූ කටයුතු අවසන් කර ඉඩම් ලබාගැනීමට ඉඩම් ඇමැතිවරයාට ලබාදී වසර එකහමාරක් ගතවී ඇතැත් එය තවමත් ඇමැතිවරයාගේ භාරයේ තිබෙන බව ද විමලරත්න මහතා කීය.

මෙම ගැටලු සමග රටේ බොරතෙල් නැතිවීම නිසා ඉදිරියේදී ඉන්ධනවලින් ක‍්‍රියාත්මක බලාගාරද නතර වීම මත මෙම විදුලි අර්බුදයක් ඇතිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනවාරි තුන්වන සතියේදී මෙරටට බොරතෙල් රැගෙන පැමිණෙන්නේ එක් නෞකාවක් පමණක් නම් මාර්තු මාසයේදී නැවතත් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසා දැමීමට සිදුවනු ඇති බව සමගි ජනබලවේගයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles