Sunday, September 22, 2024

රත්නපුර පාසල් 3ක් වසයි

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා තෝරාගත් ස්ථාන 04 කදී අද (18) සිට අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව අවිස්සාවේල්ල පාරේ කොස්ගම සාලාව, මීරිගම දංඕවිට, පුත්තලම පාරේ කටුනායක, මීගමුව කොච්චිකඩේ, ගාලු පාරේ අලුත්ගම යන ස්ථානවලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරයි.

ඉන් කොස්ගම හා මීරිගම දංඕවිට යන ප්‍රදේශවලදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පාරීක්ෂාවේදී ආසාදිතයන් දෙදෙනකු හඳුනාගෙන තිබුණි.

ඔවුන් දෙදෙනාම වරාය සේවකයන් ලෙස හඳුනාගෙන තිබේ.

වැල්ලවත්ත මැනිං පෙදෙසේ අද (18) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකර ඇති අතර ඉන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ අතර රත්නපුර මහනගර සීමාව තුළ පුද්ගලයන් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ඒ අතර එකම පවුලේ 07 දෙනෙකුද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

රත්නපුර මහජන පොළෙන් එක් ආසාදිතයකු හඳුනාගැනීමත් සමඟ එම පොළ අද තාවකාලිකව වසා දැමුණි.

අවට ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තාවීම නිසා රත්නපුර නගරයේ ඇති පාසල් 03 ක්ද වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

රත්නපුර ගඟබඩ සීවලී විද්‍යාලය, රත්නපුර අල්මකියා මුස්ලිම් විද්‍යාලය සහ රත්නපුර ධර්මරාජ විද්‍යාලය එලෙස වසා දමා තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෙකුට වෛරසය ආසාදනයවීමත් සමග එහි වෙළෙඳසැල් 06 ක්ද තාවකාලිකව වසාදැමූ බව සෞඛ්‍ය අංශ පවසති.

මේ අතර දින 48 ක් වයසැති කොවිඩ් වැළැඳුණු බිළිඳෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ බිලිඳාගේ මරණයට හේතුවී ඇත්තේ උපතේදී ඔහුගේ පෙහල්ලේ තිබූ ගැටලු සහගත තත්ත්වයක් හා බැක්ටීරියා ආසාදනයක් බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles