Monday, September 23, 2024

රනිල්ගෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ගැන පාර්ලිමේන්තුවෙිදී ප්‍රකාශයක්

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත තමන් කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළේය.

පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයන්වලදී මන්ත්‍රීවරුන් එම කොමිෂන් සභාවට කැඳවීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යරයා මෙහිදී කථා කළේය. කොමිෂමට පැමිණෙන ලෙස තමන්ට දැනුම් දුන් දිනයට පැමිණීමට හැකියාවක් නැති බව තමන් නීතිඥයින් මාර්ගයෙන් කොමිෂමට දැනුම් දුන් බවද ඔහු පැවැසීය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම ගැන  ජිනීවාහි කෙරෙන  ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් රජයට පිළිතුරු දීමට සිදුවනු ඇති බවත් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  අවධාරණය කළේය.

“මටත් මේ සභාවේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුටත් විශේෂ  ජනාධිපති කොමිසමට සහභාගි වන ලෙස දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු දිනය වන හෙයින් ඊට සහභාගි වීමට අපහසු බව මම නීතිඥවරයා මඟින් දැනුම් දුන්නා. අනිත් මන්ත්‍රිවරුන්ටත් ඒ ආරක්ෂාව තිබිය  යුතුයි.

එමෙන්ම මන්ත්‍රිවරුන් හැම වෙලේම කැඳවන්නේ නැතිව වුවමනා වන අවස්ථාවලදී  පමණක් කැඳවිය යුතුයි. පාර්ලිමේන්තුව රැස්වන දවස් සියල්ල  කොමිසමට දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්තුමාට කියනවා.

“මේ කොමිසම පත් කර තිබෙන්නේ 2021 ජනවාරි ගැසට් පත්‍රයෙන් සහ 2021 අප්‍රේල්  ගැසට් පත්‍රයකින්. මෙය පදනම් කරගෙන ඇත්තේ මීට කලින් තිබූ කොමිසමේ වාර්තාවයි.  එනම්, උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තිබූ කොමිෂන් සභාවයි. දැන් ඒ කොමිෂන් සභා වාර්තාව ජිනීවාවල තිබෙන මානව හිමිකම් මණ්ඩලයේදී ප්‍රශ්න කර තිබෙනවා.

මේ ගැන නීති ප්‍රශ්න කිහිපයක් ඇති කර තිබෙනවා. රජයට ඒ සම්බන්ධයෙන් ලබන සැප්තැම්බරයේදී පිළිතුරු දෙන්නට සිදුවේවි.  මෙය දිගට යන ප්‍රශ්නයක්.

මේ වාර්තාව පදනම් කරගෙන තිබෙන ගැසට්ටුව බැලුවහොත් එහි වලංගුභාවය කුමක්ද? මේ පිළිබඳව ක්‍රියා කරන්නේ කෙසේදැයි රජය සඳහන් කළ යුතුයි.

 අනිත් කාරණය මෙය ජාත්‍යන්තර  පාර්ලිමේන්තු සංගමයටත් යන්න පුළුවන්. මේ ගැන රජය පවසන තුරු අප මේ කොමිසමේ වැඩ කළාට හරියන්නේ නැහැ. උපාලි අබේරත්නට විරුද්ධව කරුණු වාර්තා කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන්  ප්‍රශ්න කර පලක් නැහැ. එයට පදනමක් නැතිනම් එයින්  අපේ වරප්‍රසාද නැතිවෙනවා. මේ ගැන විදේශ ඇමැති සහ අධිකරණ ඇමැති කරුණු සඳහන් කළ යුතු බව මා කියනවා.

මෙි අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර ඇති මෝසම සලකාබැලීම සඳහා ලබන 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (08) නියම කළේය.

ඒ, විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හමුවේ පෙනීසිටින ලෙස තමා වෙත නිකුත්කර තිබෙන නියෝගයක් අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වික්‍රමසිංහ මහතා ගොනුකර තිබෙන මෝසම සම්බන්ධයෙනි.

මෙම මෝසම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී.එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී, අදාළ මෝසමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති ලේකම් ධුරයේ වෙනසක් සිදුවී ඇති හෙයින් එය සංශෝධනය කිරීම සඳහා අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles