Sunday, September 22, 2024

රනිල්ගේ පෙත්සම සලකා බැලීම මාර්තු 30

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව එම පෙත්සම මාර්තු මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

මෙම පෙත්සම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න, ලෆාර් තාහීර් සහ ඩී. එම්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම සලකාබැලීම සඳහා මාර්තු මස 30 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා සම්බන්ධ කටයුතු කීපයකට තමන් වගකිව යුතු බවට දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත්කර ඇති බවය.

තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතුවලට තමන් මැදිහත් නොවූ බවත් පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් මත ස්ථාපිත කෙරුණු අතර එය රජයේ පිළිගත් මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව පාලනය කෙරුණු බව ද ඔහු පැවසීය.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිලි මත විවිධ පුද්ගලයින්ට නඩු පැවරුම් සිදුකරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි පිළිගත් රජයේ ආයතන විසින් බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත්වීම් නොකළ බවත් පවසා තිබේ.

එසේ තිබියදී දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව නීතියට පටහැනි ආකාරයට තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා එම නිර්දේශ නිකුත් කිරීමට පෙර කොමිසම විසින් තමන්ට සාධාරණ විභාගයක් ලබා නුදුන් බවද චෝදනා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles