Saturday, September 21, 2024

රනිල් – මෛත්‍රීට එරෙහි ගොනුකර ඇති පාස්කු පෙත්සම් විභාගයට දින නියම කෙරේ

ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 2022 මාර්තු මස 14 වැනිදා සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියම කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වරින් වර කල් දැමුණු මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

මෙම අවස්ථාවෙි දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු විත්තිකරුවන් 12 දෙනෙකු සදහා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ගාමිණී අමරසේකර සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් ඉවත් වන බව දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මස 15, 16 සහ 17 යන දිනවල සිදුකරන ලෙසටයි.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා සහ පීඩාවට පත් පවුල්වල සාමාජිකයින් ඇතුළු 12 දෙනෙක් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

එම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් නම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles