Tuesday, January 14, 2025

රබර්,පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ආදායමක්

රබර්,පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4 ක අපනයන ආදායමක් ලබා තිබෙන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

යම් යම් ගැටලු මතු වුනත් වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය වසර මෙම වසර බව ද ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සේවය කළ වසර විසිපහ සම්පූර්ණ කළ නිලධාරීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනි.

පොහොර තහනම් කිරීමත් සමඟ මෙම වසරේදී වැවිලි කර්මාන්තය හා කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඒ ප්‍රශ්නයට මේ වනවිට විසඳුම් ලබාදී තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා පසුබට නොවී වැවිලි කර්මාන්තයේ නියලෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙම වසරේදී තේ කිලෝ මිලියන 305ක පමණ අස්වැන්නක් ලබාගැනීමට හැකියාව තිබෙන බවත් තේ වගාවට කැමති ඕනෑම කෙනෙක්ට නොමිලයේ තේ පැල හා කොම්පෝස්ට් පොහොර හා තාක්ෂණික දැනුමලබා දීමට අමාත්‍යංශය සූදානම් බවත් එහිදී අනාවරණය විය.


පොහොර නැවත ආනයනය කිරීමට රජය අවසර දී තිබෙන බැවින් පෙබරවාරි මාසය වනවිට ප්‍රමාණවත් තරම් පොහොර රටට ලැබීමට නියමිත අතර ලබන වසරේදී අඩු මිලට පොහොරත් අමු තේ දළු වලට ඉහළ මිලකුත් ලබාදෙන්න සැලසුම් සකස් කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.
ජාතික ආර්ථිකය ගොඩනඟන ප්‍රධානතම කර්මාන්තය තේ කර්මාන්තය බවත් මෙවර අයවැයෙන් අපි රුපියල් බිලියන 4,000 ක මුදලක් වෙන්කර තිබෙන බවත් එම අවස්ථාවට එක් වූ සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
වැවිලි අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ ,රාජ්‍ය අමාත්‍යංශ ලේකම් තිලකරත්න බණ්ඩා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles