රවී ඇතුළු 10කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින දෙයි

0
397

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන දෙසැම්බර් 6 ආරම්භ කිරීමට දින නියම කළ කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය පැමිණිල්ලේ සාක්ෂි ලබාදීම  එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහත්වරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

එම නඩුව අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැදිගේ යන විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවිණි.

ඒ අනුව නඩු විභාගය ලබන දෙසැම්බර් 6 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වාත් ජනවාරි 24 වැනිදා සිට ජනවාරි 28 වැනිදා දක්වාත් දිනපතා පැවැත්වීමට විනිසුරු මඩුල්ල දින නියම කළහ.

2016 මාර්තු 31 වැනිදා පැවති මහ බැංකු බැදුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් කෝටි 1500 ක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා 22 ක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

එම නඩුවේ 10 වන විත්තිකාර ඉන්දික සමන් කුමාර නමැත්තාට ශ‍්‍රී ලංකා මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව සැකසීමට උපයෝගී කරගත් මූල්‍ය මණ්ඩල පත‍්‍රිකා ඇතුළු ලේඛණ 25 ක් ලබාදෙන ලෙසට එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කළ ඉල්ලීම විනිසුරු මඩුල්ල 2/3 බහුතර තීන්දුවකින් ප‍්‍රතික්‍ෂේප කළහ.

සභාපති විනිසුරු අමල් රණරාජා හා විනිසුරු නාමල් බලල්ලේ මහතා එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ අතර විත්තිකරුට සාධාරණ නඩු විභාගයකට මුහුණදීමට ඇති අයිතිය අනුව එකී ලේඛණ ලබා ගැනීමේ අයිතිය ඇති බව තමන්ගේ නිගමනය වන්නේ යැයි සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here