Saturday, January 11, 2025

රසායනික පොහොර සීමා කිරීම හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් – ජනපති

මුල්බැස ගත් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ රසායනික පොහොර, පලිබෝධ නාශක සහ වල්නාශක ආනයනය සීමා කිරීමට ගත් තීරණයට විරුද්ධ වුව ද එය අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

එතුළින් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහිදී ඊයේ ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින්.

දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, විද්වතුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන විසි පන්දහක පමණ පිරිසක් එක්ව සිටිනවා.

ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් විසින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහය වීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම අර්බුදයෙන් මිදීමට සහ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියා.

නව ගල් අගුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය වසර 2050 වනවිට කාබන් ශූන්‍යත්වයක් ළගා කර ගැනීම සඳහා විමෝචනය අවම කිරීමයි.

2030 වන විට අපගේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය සියයට 7කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර පොසිල ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles