Thursday, September 19, 2024

රාජපක්‍ෂ පවුල් පාලනය -ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටත් තිත්ත වෙලා

අභ්‍යන්තර මත ගැටුම් නිසා ඒකාබද්ධ විපක්‍ෂය දෙකඩ වීමේ අවදානමක්‌ පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙම තත්ත්වය ඇති වීමට ආසන්නතම හේතුව ලෙස එම ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් විය යුතුය යන යෝජනාවය. ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක්‌ ද එහි නායකත්වයට බල කර ඇතැයි ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් නොවී ඒ තුළ සිටිමින් රටට අහිතකර යෝජනාවන්ට එරෙහිව හඬ නැඟිය යුතු බව තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ ප්‍රකාශ කර තිබේ. එම නිසා ඉන් ඉවත් නොවෙන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ඉල්ලා ඇත. එහෙත් ඊට අවනත නොවී විමල් වීරවංශ මහතා ඇතුළු ජානිපෙ මන්ත්‍රීවරු පිරිස ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයෙන් ඉවත් වීමේ ලිපිය කථානායක කරු ජයසූරිය මහතාට පසුගියදා භාර දුන්හ.

මේ සම්බන්ධවත්, පොලොන්නරුව නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඉන් ඉවත් වන බවට කෙරෙන ප්‍රකාශත් නිසා පක්‍ෂය තුළ අර්බුද හටගෙන ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ආණ්‌ඩුව සමඟ එක්‌වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ශ්‍රීලනිප ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක සහාය ලබා දීමට සූදානමින් සිටින බව දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රාජපක්‍ෂ පවුල් පාලනය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටත් දැන් තිත්ත වී ඇති බව හෙතෙම කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ කිරීමට දැඩි ලෙස විරෝධය පළ කරන මෙම කණ්‌ඩායම ජනාධිපතිවරයා සමඟත් පක්‍ෂයේ ප්‍රබලයන් සමඟත් සාකච්ඡා වට ගණනාවක්‌ පවත්වා තිබෙන බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles