Sunday, November 17, 2024

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගෙන් CIDයට පැමිණිල්ලක්

2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශව විසින් සිදුකර ඇති ද්වේශ සහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමින්, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 23 වැනි දින පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් විසින් පාස්කු ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ට මෙරට බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් බව ප්‍රකාශ කර තිබුණා.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ, සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමේ කාර්්‍යයේදී එකල බි්‍රගේඩියර්වරයෙකු වූ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කර ඇති බවයි.

සිරිල් ගාමිණි පියනම සහ වෙනත් පාර්ශව විසින් සිදුකර ඇති මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන මේජර් ජෙනරාල් සලේ මහතා සිය පැමිණිල්ලෙන් අවධාරණය කර ඇත්තේ, තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් නගා ඇති එම සියලු‍ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

මෙවැනි අසත්‍ය චෝදනා බුද්ධි අංශ වෙත මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන් හට ද නැවත නිවැරදි කළ නොහැකි හානියක් සිදු කරන බවයි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

සිය පැමිණිල්ල මගින් මේජර් ජෙනරාල් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ කිසිදු තත්ත්වයක් යටතේ තමා කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදු කර නොමැති බැවින් සිරිල් ගාමිණී පියතුමන්ට හා එම සංවාද මණ්ඩපයට සහභාගී වූ අනෙකුත් අයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles