Saturday, September 21, 2024

රිෂාඩ්ගේ අමාත්‍යාංශ ලේකම් මුදල් අවභාවිතයේ

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් අමාත්‍යාංශ ගොඩනැගිල්ල නවීකරණ සහ අලූ‍ත්වැඩියා වියදම් ලෙස රුපියල් ලක්ෂ 317 කට අධික මුදලක් නීතියට පටහැනිව කොන්ත‍්‍රාත්කරුවකුට ගෙවීමට ගත් උත්සාහයක් වාර්තා වේ.

එහෙත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇතත් අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරවරයා එය  අවස්ථා කිහිපයක දී ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ අදාළ වියදම් පිළිගත් නෛතික පටිපාටියට පරිබාහිරව සිදුකර ඇති බව පෙන්වා දෙමිනි.

අප වෙත වාර්තා වන අන්දමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යාංශ නිල කාමරය, නිල රැස්වීම් කාර්යාලය, අමුත්තන්ගේ කාර්යාලය සහ පෞද්ගලික කාර්යමණ්ඩල කාමරය නවීකරණය කිරීම සම්බන්ධව රුපියල් 2,685,550 ක් නිදහස් කරන ලෙස පළමු වර අමාත්‍යාංශ ලේකම්වරයා එහි ගණකාධිකාරිවරයාට දැනුම් දී ඇත.

එහි දී ගණකාධිකාරවරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් දැනුම් දී ඇත්තේ අදාළ ස්ථානවල නවීකරණ කටයුතු සිදුකර කලක් ගත වී ඇති බැවින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට වුවත් කැඳවීමේ අවදානමක් ඇති එවැනි කටයුත්තකට අනුමැතිය පළ කිරීමට තමන්ට නොහැකි බවය.

නිල නිවස නවීකරණය :

අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ කොළඹ 07, සිරිමාවෝ බාලිකාව අසල පිහිටි නිල නිවස නවීකරණය කොට අලූ‍ත්වැඩියා කිරීමට අවශ්‍ය බව ද ගණකාධිකාරවරයාට දැනුම් දී ඇත.

එහි දී ගණකාධිකාරවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය පාර්ශ්ව කැඳවා ටෙන්ඩර් පත‍්‍රිකා සූදානම් කිරීමට කටයුතු යොදා තිබේ.

එම කටයුතු සූදානම් වන අතරවාරයේ අමාත්‍යාංශ ලේකම්වරයා ගණකාධිකාරවරයාට යළිත් දැනුම් දීමක් සිදුකර ඇත්තේ සතොස ආයතනයට අයත් ඉදිකිරීම් සමාගම විසින් අමාත්‍යවරයාගේ නිල නිවසේ අලූ‍ත්වැඩියා සහ නවීකරණ කටයුතු සිදු කළ බවත් ඒ වෙනුවෙන් ලක්ෂ 291 ක මුදලක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත්ය.

ඒ වෙනුවෙන් වන ලියවිල්ලක් ද අමාත්‍යාංශ ලේකම්වරයා ගණකාධිකාරවරයාට ලබා දී ඇත.

ඒ පිළිබඳ සොයා බැලීමේ දී එම කටයුත්ත ද නියමිත නෛතික පටිපාටියට අනුව සිදු නොවී ඇති බව මෙන්ම අලූ‍තින් කළ නවීකරණයක් නොමැති බව ගණකාධිකාරවරයා තහවුරු කරගෙන ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම නිර්දේශය ද ඔහු ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙගා කන්ස්ට‍්‍රක්ෂන් :

අප වෙත වාර්තා වන අන්දමට මෙහි දී අමාත්‍යාංශ ලේකම්වරයා උත්සාහ දරා තිබෙන්නේ සතොස ආයතනයේ ඉදිකිරීම් සමාගමක මූලිකත්වයෙන් සිදු කළ නවීකරණ කටයුත්තක් බව පෙන්වා පුත්තලම ප‍්‍රදේශයේ ඇති මෙගා කන්ස්ට‍්‍රක්ෂන් නම් ඉදිකිරීම් සමාගමක් වෙත අදාළ  මුදල ලබා දීමටය.

මෙම සමාගම රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අතිසමීප හිතවතකුට අයත් වූවකි.

පසුගිය ආණ්ඩු සමයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් මන්නාරම, පුත්තලම, මඩු, කල්පිටිය, වව්නියාව වැනි ප‍්‍රදේශවල සිදු කළ සියලූ‍ම ව්‍යාපෘතිවල පාහේ කොන්ත‍්‍රාත් කටයුතු සිදුකර ඇත්තේ ද මේ සමාගමය.

එසේම මෙම කොන්ත‍්‍රාත් කටයුතුවලට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙනුවෙන් ගනුදෙනු බැලීම සඳහා ලිවර්පුල් සමාගමේ රාජන් සහ සමන් චන්ද්‍රරත්න යන අය කටයුතු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා ද මේ වන විට ඊට මැදිහත්ව නීති විරෝධී අයුරින් අමාත්‍යාංශය සතු මුදල් අවභාවිතයේ යොදවන්නට සහාය දෙන බවත් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

(සත්හඬ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles