Thursday, January 23, 2025

ලංකාව ලෝක ශූරතාවලියේ හතට වැටෙයි

දින 30ක කාලයක් තුලදී පිට පිටම සිවුවැනි ටෙස්ට් පරාජය ලැබූ ශ්‍රී ලංකාව අයිසීසී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ හත්වැනි තැනට වැටෙයි. පසුගියදා නිමාවූ නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයේ සිටි අතර, පෙරේදා නිමාවූ එංගලන්ත සංචාරයෙන් පසු අයිසීසී. ටෙස්ට් ශූරතාවලියේ තවත් පහළට ඇද වැටීමට සිදුවෙයි. එම ඇද වැටීමෙන් හත්වැනි ස්ථානයේ සිටි පාකිස්තානය, ශ්‍රී ලංකාව සිටි හයවැනි ස්ථානයට දැන් පැමිණ ඇත.

ශ්‍රී ලංකාව මෙතෙක් ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග 8කට සහභාගී වී තරගයක් ජයගෙන තරග 6ක් පරාජය වී තරගයක් ජය පරාජයෙන් තොරව නිමාකොට ලකුණු 80ක් ලබා සිටී. ශ්‍රී ලංකාවට අයිසීසී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවත් ඉතිරිව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් පිල සමග තරග දෙකක් හා බංග්ලාදේශය සමග ටෙස්ට් තරග දෙකක් පමණි. ශ්‍රී ලංකාව ඉතිරිව ඇති එම තරග හතරම ජයගත්තද මෙම ශූරතාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට ඒමේ ඉඩක් නොමැති තත්ත්වයක පසු වේ.

ඉන්දියාව ටෙස්ට් තරග 13කට ක්‍රීඩා කොට 9ක් ජයගෙන තරග 3කින් පරාජයවී තරගයක් ජයපරාජයෙන් තොරව නිමකොට ලකුණු 430ක් ලබා මෙම ශූරතාවලියේ ඉදිරියෙන්ම සිටින අතර, නවසීලන්තය තරග 11කට ක්‍රීඩා කොට එයින් තරග 7ක් දිනා තරග 4ක් පරාජය වී ලකුණු 420ක් ලබා දෙවැනි තැන සිටී. ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේ සිටින අතර, තරග 14කට ක්‍රීඩා කොට තරග 8ක් දිනා තරග 4ක් පරාජය වී තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමා කොට ඇත.

ශ්‍රී ලංකාවේදී ජයගත් තරග දෙකත් සමග එංගලන්ත ක්‍රීඩකයෝ තරග 17කට ක්‍රීඩා කොට තරග 10ක් ජයගෙන තරග 4ක් පරාජය වී, තරග 3ක් විසදුමකින් තොරව නිමා කිරීමෙන් ලකුණු 412ක් ලබා සිවුවැනි ස්ථානයේ සිටිති. දකුණු අප්‍රිකාව ලකුණු 144ක් ලබා පස්වැනි ස්ථානයේ සිටින අතර, තරග 9කට ක්‍රීඩා කොට තරග 3ක් ජයගෙන තරග 6ක් පරාජය වී ඇත. පාකිස්තානය තරග 10කට ක්‍රීඩා කොට තරග 2ක් ජයගෙන තරග 5ක් පරාජය වී, තරග 3ක් විසදුමකින් තොරව නිමා කිරීමත් සමග ලකුණු 166ක් ලබා ගත්තද ප්‍රතිශතය ගණනය කිරීමේදී දකුණු අප්‍රිකාවට පහළින් සිටී.

වසර 14කට පසුව පාකිස්තානයට පැමිණි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් ටෙස්ට් තරග දෙකක තරගාවලිය ඊයේ ආරම්භ කළ අතර පෙබරවාරි 8වැනිදා තරගාවලියේ නිමාවත් සමග පාකිස්තාන – දකුණු අප්‍රිකා ස්ථානවල වෙනස්වීමක් සිදුවිය හැක.

ලකුණු 40ක් ලබා සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල හා තවමත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ කිසිදු ලකුණක් නොගත් බංග්ලාදේශය ශ්‍රී ලංකාවට පහළින් සිටිති. කොදෙව් පිල සහභාගී වූ තරග 7න් හයක්ම පරාජය වී එක් තරගයක් ජය ගත් අතර බංග්ලාදේශය සහභාගී වූ තරග තුනම පරාජය වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇත.

දිගින් දිගටම පරාජයන් මැද අමිහිරි අත්දැකීම් ලද ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ යම් වැදගත් සටහනක් තැබීමට හැකිව ඇත්තේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීමේ දක්ෂතා හේතුවෙනි. ඇඹුල්දෙනණිය අයිසීසී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව සටහන් කොට ඇති අතර, එංගලන්තයට එරෙහි ගාලු දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 132කට කඩුලු 7ක් දවා ගත්තේය. ඔහු අයිසීසී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගයකදී කඩුලු 10ක් ලබාගත් සිවුවැනි පන්දු යවන්නා බවට ද පත්ව සිටී. මෙම තරගාවලියේ ලකුණු සටහන අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය මේ වසරේ ජූනි 18 සිට 21වැනිදා දක්වා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ජයගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියනයක් පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු යොදා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles