Wednesday, January 15, 2025

රුසියාව තුන්වන ලෝක යුද්ධයකට මගපාදමින් යුක්‍රේනය තුන් පැත්තකින් වට කරයි – CNN වාර්තා කරයි

මේ වන විට තුන්වැනි ලෝක යුද්ධයකට අත වනමින් සිටින රුසියාව ඒ වෙනුවෙන් පැටලෙන්නට උත්සාහ කරනුයේ යුක්‍රේනය සමගයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විටත් රුසියාව යුක්රේන දේශ සීමාවන් හි ආරක්ෂාව ප්‍රධාන වශයෙන් පළාත් තුනක් ඉලක්ක කරමින් තර කර ඇති බවයි.

CNN ලෝක පුවත් සේවය ඉදිරිපත් කළ වාර්තාවක දැක්වුණේ රුසියාව තුන් පැත්තකින් යුක්‍රේනය වට කර ඇති බවයි.

එමෙන්ම මේ වන විටත් රුසියානු පාබල හමුදා සාමාජිකයන් ලක්ෂ හතරක් පමණ යුක්රේන දේශ සීමාවන් ආසන්නයේ ස්ථාන ගත කර තිබෙනවා.

මේ අනුව යුක්‍රේනයේ දකුණු පසින් ක්‍රිමියා රුසියානු දේශ සීමා කොටස තුළ මෙන්ම උතුරු දෙසින් බෙලරුසියානු දේශ සීමා කොටස තුළත් මෙලෙස නව ස්ථානගත කිරීම් හරහා ඔවුන් යුක්‍රේනයට බලපෑම් සිදු කරමින් සිටින බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම කුමන මොහොතක හෝ රුසියාව විසින් යුක්‍රේනය වෙත එල්ල කරනු ලබන ප්‍රහාරයක් වළක්වා ගැනීම සහ දෙරට අතර යුද ගැටුම් තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මේ වන විටත් යුරෝපා සහ බටහිර රටවල් බොහොමයක් මැදිහත් වී තිබෙනවා.

කෙසේ වෙතත් විටින් විට පරස්පර විරෝධී නිවේදන නිකුත් කරන රුසියාව පවසන්නේ ඔවුන්ට යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු උවමනාවක් නොමැති බවයි.

නමුත් ඒ අතරවාරයේ ඔවුන් අඛණ්ඩව යුක්‍රේන දේශසීමා ආසන්නයේ යුද අභ්‍යාස සහ ඔවුන්ගේ හමුදාමය බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියක නිරත වනවා.

මේ වන විටත් යුක්‍රේනය වටා ස්ථාපිත කර තිබූ රුසියානු ස්ථිර යුද කඳවුරු 12ට අමතරව නව යුද කඳවුරු ස්ථාපිත කිරීමට රුසියාව කටයුතු කර තිබෙනවා.

මේ අනුව ඔවුන් විසින් බෙලරුසියාවේ නව යුද කඳවුරු 11 ක් ස්ථාපිත කර ඇති අතර ඔවුන් වැඩිම පීඩනයක් එල්ල කරනු ලබන්නේ ද යුක්‍රේනයට උතුරු දෙසින් පිහිටා ඇති දේශසීමාවන් ඔස්සේ යි.

බෙලරූස් රාජ්‍යයට අමතරව රුසියානු යුක්‍රේන උතුරු දේශසීමාවේ අළුතින් ස්ථාපිත කර ඇති රුසියානු යුද කඳවුරු සංඛ්‍යාව 10 කි.

මෙම කඳවුරුවලට රුසියානු විශේෂ හමුදා ඒකක ඛන්ඩ ගණනාවක් කැඳවා ඇති බවත් එම විශේෂ හමුදා ඒකක ඛන්ඩ දැඩි හිම පතනය සහිත දුෂ්කර පරිසර කලාපයන් තුළ සංග්‍රාමයේ නිපුණතා දක්වන හමුදා ඛන්ඩ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා .

මේ අතර රුසියාවේ සහයෝගය ලබන බෙදුම්වාදී කල්ලියක් ක්‍රියාත්මක වන යුක්රේනයේ ඩොන්බාර්ස් ප්‍රදේශයේ රුසියානු දේශසීමාවේ ස්ථානගත කර ඇති රුසියානු නිත්‍ය යුද කඳවුරු තුනට අමතරව තවත් නව ස්ථානගත කිරීමක් සිදුකර ඇති අතර 2014 වර්ෂයේ සිට රුසියාව අත්පත් කරගෙන ඇති යුක්‍රේනයේ කොටසක් වෙන ක්‍රිමියා ප්‍රදේශයේ ද නව යුද කඳවුරු දෙකක් ස්ථාපිත කර ඇත්තේ එම දේශ සීමාවේ දැනටමත් පවතින ස්ථිර රුසියානු යුද කඳවුරු තුනට අමතරවයි.

එමෙන්ම යුක්රේනයට ආසන්නයෙන් පිහිටා ඇති ප්‍රධානතම රුසියානු යුධ හමුදා කඳවුරු සංකීරණය වන කර්ස්ක්හි බලය වැඩි කිරීමට රුසියාව පියවර ගෙන ඇත්තේ එම කඳවුරු සංකීර්ණයට නව ප්‍රහාරක ගුවන් යානා සහ අතිරේක බලඇණි ද කැඳවමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles