Friday, September 20, 2024

රොහින්ග්‍යා සිද්ධියට සැක හිටපු කොස්‌තාපල් භාරවෙයි

ගල්කිස්‌ස ප්‍රදේශයේ නිවසක රඳවා සිටි මියන්මාර් රොහින්ග්‍යා සරණාගතයන් පිරිසකට මරණ තර්ජන කර නිවසට ප්‍රහාර එල්ල කර කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ප්‍රධාන සැකකරුවකු වූ හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයකු කොළඹ අපරාධ කොට්‌ඨාසයට ඊයේ (06 වැනිදා) භාර වුණේය.

මෙම හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා ඇතුළු තවත් සැකකරුවන් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වමින් සිටියදී මොවුහු සැඟවී සිටියහ.

ඊයේ පෙරවරුවේ කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත පැමිණි සැකකාර හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති අතර අධිකරණය වෙත අද (07 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකාර හිටපු පොලිස්‌ කොස්‌තාපල්වරයා කෙසෙල්වත්ත පොලිසියේ රාජකාරි කරමින් සිටියදී වැඩ තහනමට ලක්‌වූ අයෙකි.

පානදුර ප්‍රදේශයේ මුස්‌ලිම් දේවස්‌ථානයකට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීම සම්බන්ධයෙන් ද මෙම සැකකරු මීට ඉහතදී අත්අඩංගුවට පත්වී ඇත.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස්‌ මත විමර්ශන පැවැත්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles