බ්‍රිස්ටල් බිල්ඩිමෙන් ඇරඹුණු ලංකාවේ විදුලියවිදුලිය මිනිසාගේ ජීවිතයේ කොටසක් බඳුය. පසුගිය දිනයක මුළු දිවයිනේම විදුලිය බිඳ වැටීම නිසා සියලු කාර්යයන් ඇණහිටීමෙන් රටට සිදු වූ අලාබය කෝටි ගණනක්. අද එතරම් අත්‍යවශ්‍ය සම්පතක් වුවද මීට වසර 100කට පමණ ඉහත නම් විදුලිය යන්න අපට සිහිනයක් පමණයි. ලොව විදුලි බලය ක්‍රියාත්මක වූ පළමු නගරය ලෙස වාර්තා වන්නේ බ්‍රිතාන්‍යෙය් බ්‍රිස්ටල් නගරයයි.
ඒ 1881 ජුනි 21 දා.එවක සිලෝන් නමින් හැඳින්වුණු ලංකාවේ වැසියන් මුලින්ම විදුලිය යනු කුමක්දැයි දැක ගත්තේ ක්‍රි. ව. 1882 මෙරටට පැමිණි එස්. එස් හිලියෝස් නෞකාවේ දැල්වුණු විදුලි ආලෝකයෙන්. විදුලි බුබුළු වාණිජ මට්ටමින් නිෂ්පාදනය ඇරඹී නොතිබූ සමයක එනම් ක්‍රි. ව. 1890 දී ඩීසල් ජනන යන්ත්‍රයක් භාවිත කරමින් පළමු වරට ලංකාවෙ විදුලි බල්බයක් දල්වන ලද්දේ කොළඹ කොටුවේ තිබූ බ්‍රිස්ටල් හෝටලය මගින්. ඔවුන්ගේ බිලියඩ් මේසය ආලෝකවත් කිරීම සඳහා එම මේසය සවි කර තිබූ කාමරයට ඔවුන් එලෙස විදුලිය ලබා ගෙන තිබුණා.
1895 දී බවුස්ටඩ් සහෝදර සමාගම මගින් කොළඹ කොටුව් කුඩා විදුලි උත්පාදකාගාරයක් ඉදිකරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ විදුලි උත්පාදකාගාරය ලෙස සැලකෙන්නේ එයයි. ඔවුන්ගේ විදුලි උත්පාදකාගාරයෙන් පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන හා රජයේ ගොඩනැඟිලි කිහිපයකටත්, කොටුව ප්‍රදේශයේ වීදි කිහිපයක් ආලෝකවත් කිරීමටත් විදුලිය ලබා දුන්නා. එම සමාගම විදුලිබල ආඥා පනතේ අංක 5 යටතේ ස්ථාපනය කෙරුණු අතර ලංකාවට විදුලිය සැපයීම සඳහා බලය ලත් පළමු සමාගම වූයේ ඔවුන්.
1899 දී ද ‘කලම්බො ඉලෙක්ට්‍රික් ලයිටිං ඇන්ඩ් ට්‍රෑම්වේස්’ නමබ්‍රිතාන්‍ය සමාගම බවුස්ටඩ් සහෝදර සමාගම හා එක්ව ලංකාවේ ට්‍රෑම් රථ සේවය ආරම්භ කළ අතර ගෑස් පහ හන්දිය, සෝන්ඩර්ස් පෙදෙස යන ප්‍රදේශවලට විදුලිය සැපයීමට පියවර ගත්තා. පසුව යෝක් වීදිය ඔස්සේ කොළඹ වරාය දක්වාද, බොරෑල්ල ට්‍රෑම් රථ ගමනාන්තය සහ ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම් වීදියේ කෙළවර දක්වාද ව්‍යාප්ත කෙරුණු මෙම සේවය සැපයීම සඳහා පිටකොටුවේ ගෑස්පහ හන්දියේ විදුලි උත්පාදනාගාරයක් ද ආරම්භ කෙරුණා. කොළඹ නගරයේ මගී ප්‍රවාහන සේවයේ යෙදුණු ට්‍රෑම් රථ සඳහාද, පිටකොටුවේ පිහිටි පෞද්ගලික වාණිජ ගොඩනැඟිලි හා රජයේ අයතන සඳහා මෙන්ම එම ප්‍රදේශයේ වීදි ආලෝකමත් කිරීමේ කාර්ය භාරය පැවරුණේ එම සමාගමටයි. 1902 දී ගාලු මුවදොර හා එවක බරන්දෙනිය නමින් හැඳින්වුණු කොල්ලුපිටිය යන ප්‍රදේශවල නිවෙස් කිහිපයකට විදුලිය සැපයීමේ කාර්යභාරයද ඔවුන් වෙත පැවරුණා. මෙම සේවය 1943 දී කොළඹ මහ නගර සභාවට විකුණා දැමුණා.
1913 දී රජය නුවරඑළිය නගරයට විදුලිය සැපයීමට නානුඔය හා නුවරඑළිය අතර බ්ලැක්පූල් නම් ස්ථානයේ කුඩා ජල විදුලි බලාගාරයක් තැනීම ආරම්භ කළා. එයට මෙරට සිටි ඉංජිනෙරුවකු වූ දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර ද එක්ව සිටියා. 1918 දී ඔහු, ලංකාවේ ඉංජිනේරු සංගමයට වාර්තාවක් ඉදිරිපත් කරමින්, ලංකාවේ ජල විදුලියේ ආර්ථික ශක්‍යතාව පැහැදිලි කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලක්ෂපාන බලාගාරය ඉදි කිරීමට පියවර ගැනුණා. මස්කෙළි ඔය හා කෙහෙල්ගමු ඔය හරහා ගලා එන ජලය එකතු කොට ජල විදුලි බලාගාරයක් තුළින් ගමන් කරවීමෙන් ජනනය කර ගන්නා විදුලියෙන් දළ වශයෙන් විදුලි පහන් ලක්ෂයක් පමණ දැල්විය හැකි යැයි ඔහුගේ අදහස වුණා. විදුලි පහන් ලක්ෂයක් දැල්විය හැකි ස්ථානය පසුව ලක්ෂපහන වී කටවහර අනුව ලක්ෂපාන බවට පත් වුණා.
1920 වසරේ සිට ගම්පහ, වේයන්ගොඩ, ජා-ඇල, පෑලියගොඩ, කොච්චිකඩේ, අවිස්සාවේල්ල සහ මිනුවන්ගොඩ යන පළාත්වල ඩීසල් ජෙනරේටර් මගින් ප්‍රාදේශික වශයෙන් විදුලිය සැපයීම ආරම්භ කෙරුණා.1926 විදුලි වැඩ සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පොදු වැඩ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා යටතේ ස්ථාපනය කරනු ලැබුවා. 1927 සිට 1931 දක්වා මෙරට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු වූ ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි සිහිපත් කිරීම සඳහා 1929 දී මෙගාවොට් තුනක බලාගාරයක් ‘ස්ටැන්ලි විදුලි බලාගාරය’ නමින් කොලොන්නාවේ ආරම්භ කරන ලද අතර වසර අවසාන වන විට එමගින් නගර 16 කට විදුලිය සැපයීමට සමත් වුණා.
1935 දී ස්ථර දෙකක තීරුබදු ක්‍රමයක් හඳුන්වා දුන් අතර එම වර්ෂයේම 1935 අංක 35 දරණ විදුලිබල මණ්ඩල ආඥා පනත සම්මත කළද 1937 මැයි මාසයේදී එය අහෝසි කෙරුණා. එයට පැවරුණු සියලු වගකීම්, රජයේ විදුලි ආයතන දෙපාර්තමේන්තුවට පැවරුණා.
1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව නිදහස ලැබුණු අතර වර්ෂ 1924 සිට සංවර්ධනය වෙමින් පැවැති පැරණි ලක්ෂපාන බලාගාරයේ සියලු ඉදිකිරීම් කටයුතු 1950 ඔක්තෝබර් 30 වන දින අවසන් කෙරුණා. එම වසරේම විදුලි වැඩ විමධ්‍යගත කිරීම සඳහා නෝර්ටන් බි්‍රජ්, නුවරඑළිය, දියතලාව, පානදුර, මීගමුව, අවිස්සාවේල්ල සහ පේරාදෙනිය යන ප්‍රදේශවල ප්‍රාදේශීය කාර්යාල විවෘත කිරීමට පියවර ගැනුණා.
1969 නොවැම්බර් 1 දින අංක 17 දරණ පාර්ලිමේන්තු පනත මගින් ලංකා විදුලිබල මණ්ඩලය ස්ථාපනය කෙරුණ අතර වර්තමානයේ මෙරට විදුලි සැපයුම භාර වී ඇත්තේ එම මණ්ඩලයටයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා.