Friday, September 20, 2024

ලසන්ත ඝාතනයට හිටපු පොලිස්පති අත්අඩංගුවට පත්වීමේ අවදානමක් නෑ

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්, හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අත් අඩංගුවට පත් වීමේ අවදානමක් නොමැති බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, තමන් අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දීයි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කළ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධ්‍යක්ෂ ධූරය දැරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ තොරතුරු විනාශ කළ බවට චෝදනා කරමින් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් සිදුකරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු, හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබුණා.

එම අවස්ථාවේ දී තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා, විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

එය විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා හිටපු පොලිස්පතිවරයා අත් අඩංගුවට පත්වීමේ අවදානමක් නොමැති බව දැනුම් දීමත් සමඟ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස් කර ගත් බව සඳහන් වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles