Monday, January 27, 2025

ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යයි….

2011 – 2013 කාල පරාසයේ දී ශ්‍රී ලංකාව සඳහා උපතේ දී අපේක්ෂිත ආයු කාලය පුරුෂයින් සඳහා වසර 72.0 ක් ද ස්ත්‍රීන් සඳහා වසර 78.6 ක් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ආයු කාලයන් 2001 වර්ෂය සඳහා පිළිවෙළින් 68.8 සහ 77.2 විය. මේ අනුව 2001 වර්ෂය හා සැසඳීමේ දී 2012 වර්ෂය සඳහා උපතේ දී අපේක්ෂිත ආයු කාලය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහාම වැඩි වීමක් පෙන්නුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ස්ත්‍රී හා පුරුෂ උපතේ දී අපේක්ෂිත ආයු කාලයන් අතර පරතරය 2001 දී අවුරුදු 8.4ක් වූ අතර සාපේක්ෂව එය 2012 වසරේදී අවුරුදු 6.6ක් දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව ජාතික මට්ටමට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද ජීව දත්ත වගු සකස් කර ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2011 – 2013 කාල පරාසය සඳහා ජීව දත්ත වගු නිකුත් කරන ලදී. මෙම ජීව දත්ත වගු මඟින් රටේ ජනතාවගේ ආයු අපේක්ෂාව පිළිබඳව තොරතුරු අනාවරණය වේ. ජීව දත්ත වගු සැකසීම පිළිබඳව ශ්‍රී ලංකාවට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර පළමු වරට ජීව දත්ත ප්‍රකාශයට පත් වී ඇත්තේ 1888 වසරේ දීය. සාමාන්‍යයෙන් ජන සංගණනයක් සිදු කළ වර්ෂයක් සඳහා ජීව දත්ත වගු සැකසීම 1901 වසරේ සිට සිදු කර ඇත. 2011 – 2013 වසරවලට පෙර ජීව දත්ත වගු සකස් කරනු ලැබ ඇත්තේ 2000 – 2002 කාල පරාසය සඳහාය.

ජීව දත්ත වගුවක් මූලික වශයෙන් වයස් කාණ්ඩ අනුව මරණ අනුපාතිකයන් භාවිතයෙන් සකස් කරනු ලබයි. උපතේ දී අපේක්ෂිත ආයු කාලය, යම් වයස් කාණ්ඩයක සිටින පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය, යම් වයස් කාණ්ඩයක සිටින ජනගහනයෙන් කොපමණ පිරිසකට ඊළඟ වයස් කාණ්ඩය වෙත ළඟා වීමට හැකියාව තිබේ ද යන වග, එක් වයස් කාණ්ඩයක සිටින ජනගහනය ඊළඟ වයස් කාණ්ඩයක් දක්වා ජීවත් විය හැකි සම්භාවිතාවය සහ එක් වයස් කාණ්ඩයක සිටින ජනගහනය ඉදිරි වසර කීයක් ජීවත් වීමට හැකියාව ඇද්ද යන කරුණු ජීව දත්ත වගු මගින් විස්තර කෙරේ. මෙම තොරතුරු අධ්‍යාපන, සෞඛ්‍යය හා රක්ෂණය යන අංශවලට ප්‍රායෝගික වශයෙන් බහුල ලෙස භාවිතා වේ.

ජීව දත්ත වගු සම්මතයක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙන් වෙන්ව සකස් කරයි. එබැවින් ජීව දත්ත වගු සඳහා අවශ්‍ය මූලික දත්ත ප්‍රභවය වනුයේ සංගණන වර්ෂයට පූර්ව වර්ෂ 3ක් සඳහා වයස හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව මරණ අනුපාතිකයයි. මේ සඳහා වයස හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව ජනගහනය, වයස හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව මරණ සංඛ්‍යාව අදාළ වර්ෂ සඳහා අවශ්‍ය වේ. ජනගහනය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජන හා නිවාස සංගණනය මගින් ද මරණ සංඛ්‍යාව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය මගින් ද ලබා ගනී. අවසන් ජන සංගණනය පවත්වන ලද්දේ 2012 වසරේ දී වන බැවින් ජනගහන තොරතුරු එම සංගණනය මඟින් ලබා ගත් අතර 2011 – 2013 අතර සිදු වූ මරණ සංඛ්‍යාව භාවිතා කිරීමෙන් 2011-2013 ආයු අපේක්ෂාව ගණනය කර තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles