Friday, January 10, 2025

ලෝක කුසලානයෙන් පසු ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කෙරේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට පැමිණීමෙන් පසු කෝවිඩ්-19 මර්ධන තෙවැනි එන්නත් මාත්‍රාවද (බූස්ටර්) ලබාදීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෛද්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා Deccan Chronicle වෙබ් අඩවිය වෙත මේ බව අනාවරණය කර ඇත.

“ජාතික කණ්ඩායමේ අපේ සියලුම ක්‍රීඩකයින්ට දැනටමත් (ස්පුට්නික්) එන්නත් මාත්‍රා දෙකකම ලබාදී තිබෙනවා. කෙසේ නමුත් ඔවුන් ලෝක කුසලානය තරගාවලිය අවසන්කර නැවත පැමිණෙන විට එය ලබාදී මාස ​​හයක් පමණ ගත වෙලා.

අපි ඔවුන් ලංකාවට පැමිණීමෙන් පසු ප්‍රතිදේහ පරීක්ෂාවක් සිදුකරනු ලබනවා. ඉන් ප්‍රතිදේහ අඩුබව හඳුනාගන්නා අයට ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට තීරණය කර තිබෙනවා” යැයි පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය අවසන් කිරීමෙන් පසු සහභාගිවන පළමු ක්‍රිකට් තරගාවලිය ලෙස බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් තරග දෙකකට (නොවැ. 21-25 සහ නොවැම්බර් 29 – දෙසැ.3) ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

කෙසේ නමුත් කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන කිසිඳු ටෙස්ට් තරගයක් නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබානොදීමට තීරණය කර ඇත. එහෙත් අනතුරුව පැවත්වෙන ලංකා ප්‍රිමියර් ලීගය (LPL) තරගාවලිය නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාවක් ලබාදීමට මේ වනවිට සැලසුම් සකස්කරමින් සිටින බවද අර්ජුන ද සිල්වා මහතා මෙහිදී අනාවරණය කර ඇත.

මේ අතර බංග්ලාදේශයට එරෙහි වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩාකළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සියලුම ක්‍රීඩකයින්ටද පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා ෆයිසර් එන්නත් පළමු මාර්ත්‍රාව ලබාදී ඇති බව වාර්තා වේ. එමෙන්ම ඉන් දින 21කට පසු ඔවුන්ට එහි දෙවැනි මාත්‍රාවද ලබා දෙනු ඇති බව සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles