ග්ලයිෆොසෙට් වකුගඩු රෝගවලට බලපාන බරපතළ රසායනිකයක් බව විශේෂඥ අංශවලින් සොයා ගත් නිසා ග්ලයිෆොසෙට් මම තහනම් කළා. නමුත් පසුගිය දවස්වල ඊට වෙනස් එකක් නැවත අපේ රටට ගෙනැල්ල තියෙනවා කියලා මට දැන ගන්න ලැබුණා. මම ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ වාර්තාව ලැබීමෙන් පසුව එවැනි ග්ලයිෆොසෙට්වලට සමාන හෝ ඊට වඩා වැඩි හෝ අඩු අපිට නුසුදුසු දෙයක් නම් ඒ අලුත් රසායනිකය අපේ රටේ භාවිතයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බැව් ප්‍රකාශ කළේ වකුගඩු රෝග නිවාරණ බදුල්ල දිස්ත්‍රික් ජාතික වැඩසටහනට එක්වෙමිනි. ගිරාදුරුකෝට්ටේහිදී පැවැති එම උත්සවයේදී ජනාධිපතිවරයා මෙසේද කීය,
අද අපි මේ එක්ව සිටින්නේ දිවයින පුරා පවතින ජාතික උවදුරක් මර්දනය කිරීමේ ජාතික වැඩසටහනේ තවත් එක් අදියරකටයි. අපේ රටේ වකුගඩු රෝගය පිළිබඳව සමස්ත ජනතාව මේ වනවිට දැනුවත් වී සිටිනවා. මේ රෝගය පිළිබඳව අද ඔබට විශේෂ දේශනය කළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතා මේ ප්‍රදේශවලට පැමිණ කැපවීමෙන් විශේෂ සේවයක් කළා.සමස්ත වෛද්‍ය වෘත්තිකයන්ටම ඉතාම ආදර්ශවත් වෛද්‍යවරයෙක් විදියට එතුමාව හඳුන්වාදීමට පුළුවන්. මම එතුමා අඳුරගත්තේ මීට වසර 20 කට ඉහතදී මහනුවර රෝහලට ගිය අවස්ථාවකදී. මම ඒ කාලේ මහවැලි සංවර්ධන ඇමැතිවරයා. මම එතුමා සමග කතාබහ කරන විට ඒ සමඟම සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ අපේ හිතවතුන් ඒ කාලෙත් එතුමා කළ සේවය පිළිබඳව මාව දැනුවත් කළා. මීට වසර 20කට පෙර මම එතුමාව හමු වූ විට ඔබට මගෙන් මොනවාද කෙරෙන්න ඕනෑ කියා මා ඔහුගෙන් ඇසුවා. එතුමා පැවසුවා මට නම් පුද්ගලිකව මොනවත් අවශ්‍ය නැහැ. මම බස් එකේ ගිහිල්ලා හරි මගේ වැඩේ කරන්නම්. අනුරාධපුර මහ රෝහලට වකුගඩු ප්‍රතිකාර විශේෂ ඒකකයක් අවශ්‍යයි කියා. ඒකට සල්ලි නැහැ. ඒ නිසා අපි දැන් ඒකට සල්ලි එකතු කරනවා කියලා. ඒ වෙලාවේ මම මහවැලි අධිකාරියට අයත් මුදල්වලින් මිලියන 10ක් වෙන් කළා. එය ලොකු මුදලක් නොවුණත් දිය හැකි ප්‍රමාණය මම දුන්නා.
තිලක් අබේසේකර මහතා තමන්ට වාහනයක්වත් නැතිව බස් එකේ ඇවිත් දෙහිඅත්තකණ්ඩිය, ගිරාදුරුකෝට්ටේ, පදවිය වැනි ප්‍රදේශවලට ගොස් එතුමාගේ සේවය ලබා දුන්නා. අද සෞඛ්‍ය ක්ෂේත්රයේ කටයුතු කරන සෑම කෙනෙක්ම මේ බරපතළ අර්බුදයෙන් ජනතාව මුදා ගැනීමට ප්‍රතිකාර හා නිවාරණ අංශ පවත්වාගෙන යමින් මේ කරන වැඩපිළිවෙළ මා ඉතාමත් අගය කරනවා.
රාජකීය පණ්ඩිත නා පටවිල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ 2004 මේ කටයුතු සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා ගත් හැටි මේ අවස්ථාවේදී ප්‍රකාශ වුණා. උන් වහන්සේ ප්රමුඛ මේ සඳහා සහාය දැක්වූ සියලු දෙනාටම මම ස්තූතිය පුද කරනවා.
මම ජනාධිපති ධූරයට පත් වූ මුල් කාලයේදීම ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති 4ක් ආරම්භ කළා. ඒ සඳහා අධ්යක්ෂවරු 4ක් පත් කළා. ඒ ව්‍යාපෘති වන්නේ දේශීය ආහාර නිෂ්පාදනය, මත් ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය, පරිසර සංරක්ෂණය, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩපිළිවෙළයි. මේ සෑම වැඩපිළිවෙළක් ම අදාළ අමාත්‍යාංශ, පළාත් ආදී සෑම ආයතනයක්ම එක්වයි කටයුතු කරන්නේ.
අද මේ වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව දැනුවත් කරමින් ප්‍රතිකාර හා නිවාරණ අංශ ශක්තිමත් කරමින් මේ වැඩපිළිවෙළට අවශ්‍ය සියලු සම්පත් ලබාදීම. අද මේ ස්ථානයේ මේ වැඩසටහන පැවැත්වීමට පෙර ප්‍රාදේශීය වශයෙන් කළ රෝගීන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළේ සාමාන්‍ය පුද්ගලයන් 27780ක් පරීක්ෂා කර තිබුණා. ඒ මැයි මාසේ 16 සිට ජූනි 15 දක්වා කාලයේදී. පරීක්ෂා කළ පුද්ගලයන් 27780ක් අතරින් 2018 දෙනෙක්ට වකුගඩු රෝගය බොහෝ දුරට වැළදී ඇති බවට සොයාගෙන තිබෙනවා. ඒ කියන්නේ සමීක්ෂණයට ලක් කළ පුද්ගලයන්ගෙන් සියයට 8ක් මේ රෝගයට ගොදුරු වී සිටිනවා. ඒ නිසා මේ රෝගය පිළිබඳව සැලකිල්ලකින් කටයුතු කිරීම ඉතාම අවශ්‍යයි.
සියලු දේ පිළිබඳව දැනුවත් වී සිටියත් භාවිතය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. රජය විසින් අධ්‍යාපනයට, සෞඛ්‍ය ක්ෂේත්රයට භෞතික හා මානව සම්පත් ලබා දී තිබෙනවා. නමුත් මෙවැනි කාරණා සම්බන්ධයෙන් ජනතාව ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. තමන් නිරෝගී මිනිසෙක් ලෙස ජීවත්වීමට මොනවාද කළ යුත්තේ කියන කාරණය පිළිබඳව අප සැලකිලිමත් විය යුතුයි.
අපි ජනාධිපති කාර්ය සාධන බළකායක් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය, ජල සම්පත් අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව ලබන වර්ෂය වනවිට මේ රෝගය තිබෙන ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම පිළිබඳව දැනට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
ඔබ සෑම කෙනෙක්ම දන්නවා මේ සම්බන්ධයෙන් කර තිබෙන පර්යේෂණ පිළිබඳව. අපේ රටේ විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ පර්යේෂණ අංශ ඒවගේම මම සෞඛ්‍ය ඇමැතිවරයා විදියට ඉන්න කාලේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අපේ රජය විසින් මුදල් ගෙවලා මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළා. මේ සෑම පර්යේෂණ වාර්තා තුළම අවසන් නිගමනයක් නොවුණත් අවසානයේ එන නිරීක්ෂණ සහ නිගමනවල පොදු කරුණු කිහිපයක් තිබෙන බව ඔබ දැනුවත් වෙලා තිබෙනවා. එහිදී මූලික වශයෙන්ම වල් නාශක, කෘමි නාශක, රසායනික පොහොර ප්රමුඛත්වයක් ගන්න බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අපේ ගොවින් විශේෂයෙන්ම කුඹුරෙදි වල් නාශක, කෘමිනාශක පාවිච්චි කරන විට ඒ සඳහා තමන්ගේ ශරීරය ආවරණ ය කරමින් ඒ කටයුත්ත කරනවද ඇතැම් වෙලාවට වල් නාශක කෘමිනාශක පොහොර කුඹුරට යොදන ගමන් සිගරට් එක බොනවා. බීඩිය බොනවා. තේ එක බොනවා. බනිස් ගෙඩියක් කනවා. ඒ එක්කම වල්නාශක කෘමිනාශක බෝතලේ එහෙමම කුඹුරෙ අයිනක දානවා. නාන ඇළට විසිකරනවා. නාන ඇළෙන් ඒ බෝතලය හෝදනවා. මේ වගේ ඉතාම සුළු දේවල්.
හැබැයි අපි එවැනි කාරණා පිළිබඳවත් කොතෙක් දුරට ඒ තිබෙන දැනුවත්භාවය නිවැරදි ලෙස භාවිතා කරනවාද කියන ප්රශ්නය අපි හැමකෙනෙක්ම කල්පනා කළ යුතු වෙනවා. ඒ නිසා මේ තත්ත්වයක්ම සැලකිල්ලට ගත්තාම නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ කාර්යයේදී රජයක් විදියට අවශ්‍ය සම්පත් ලබාදීම අපි නොඅඩුව කරනවා. අපේ මේ වගකීම් ඉෂ්ට කිරීම සඳහා මේ දැනුවත්භාවය මේ වැඩසටහන් තුළ දැනුවත් කිරීම සහ ලබාදෙන සම්පත් එක්ක ඒ කාර්යයන්වලදී ජනතාවගේ පැත්තෙන් විශේෂයෙන්ම වැඩි අවධානයක් නැඹුරුවක් කැපවීමක් තිබීම ඉතාම අවශ්‍ය වෙනවා.
අපි ඇයි මේ සඳහා පාසල් දරුවන් තෝරා ගන්නේ. පාසල් දරුවා තමයි මුලින්ම දැනුවත් විය යුත්තේ. පාසල් දරුවා තමයි ගෙදර අම්මා, තාත්තා පවුලේ සියලු දෙනාට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න හොඳම පණිවිඩකරුවා. මෙවැනි රෝගයක් පිළිබඳව, මත්ද්‍රව්‍ය පිළිබඳව, පරිසර සංරක්ෂණය පිළිබඳව, දේශීය ආහාර නිෂ්පාදනය සහ පරිභෝජනය පිළිබඳව මේ සෑම කටයුත්තකදීම පාසල් දරුවාගෙන් පටන් ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ වෙලාවට වැඩිහිටියන්ට තමන් කරගෙන ආ බොහෝ පුරුදු ඇතැම් වෙලාවට වැරදි පුරුදු තමන්ට අත් හරින්න පුළුවන්කමක් නැහැ. ඒවට හුරු වෙලා. ඒ නිසා තමයි පුංචි දරුවාගේ ඉඳලා තරුණ දරුවෝ ඒ සෑම කෙනෙක්ම මේ සඳහා හැඩගස්සලා මේ කටයුතුවලට වැඩි නැඹුරුවක් ඇති කරන්නේ.
ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදේශය තුළත් සෑම ගම්මානයකම පානීය ජල අවශ්‍යතාව පිරිසිදු ජලය නොමැති නම් ඒවා සොයලා බලා ඒ අඩුපාඩුව සකස් කරන්න. රෝහල්වල වකුගඩු රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා උපකරණ භෞතික සම්පත් ඒ සඳහා අවශ්‍ය අඩුපාඩු තිබෙනවා නම් ඒවා අංග සම්පූර්ණ කරන්න. ඒ විදියට මේ ගෙනියන වැඩපිළිවෙළට තමුන්නාන්සේලා සියලුදෙනාගේම සහයෝගය මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඌව පළාත් සභාව විදියට ගත් විට මහඇමැතිතුමාත් සෞඛ්‍ය ඇමැතිතුමා වගේම අනික් ඇමැතිතුමාලා සෑම කෙනෙක්ම මේ කටයුතු සම්බන්ධයෙන් දක්වන දැඩි උනන්දුව ඕනෑකම සහ කැපවීම මම ඉතාමත් අගය කරනවා.
ගොවි ජනතාව විදියට තමුන්නාන්සේලා ගත කරන්නේ සැප පහසු ජීවිතයක් නොවෙයි. සුඛෝපභෝගී ජීවිතයක් නොවෙයි. ඉතාම දුෂ්කර ඉතාම අවිවේකී ජීවිතයක් තමුන්නාන්සේලා ගත කරන්නේ. සැප සම්පතින් තොර දුෂ්කර කටුක ජීවිතයක් ගත කරන අපේ ආදරණීය ගොවි ජනතාව රටට බත සපයන ජාතියේ ආර්ථිකය ශක්තිමත් කරන ඔබේ පවුල් සංස්ථාව වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් ආර්ථික වශයෙන් වගේම විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න ගොවි පවුලක් දරු පිරිසක් ජනතාවක් බිහිකිරීම සඳහා මේ වැඩපිළිවෙළ අපි ප්රමුඛත්වයක් දීලා කටයුතු කරන බව කියන්න ඕනෑ.
අද දවස දක්වා මේ වැඩසටහනට සහයෝගය දුන්න සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ වෛද්යතුමාලා ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂතුමා ඇතුළු රෝහල්වලත් ඒ වගේම ක්ෂේත්රයේ කටයුතු කරන ඒ සෑම කෙනෙකුටම මම මගේ විශේෂ ගෞරවනීය ස්තූතිය පුද කරනවා ඔබ සෑම කෙනෙක්ම මේ පොදු මහජනතාව වෙනුවෙන් කරන්නා වූ ඉතාමත්ම ඉහළම කැපවීම සම්බන්ධයෙන්. ඒ වගේම රජයේ නිලධාරීන් විදියට දිසා ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ඒ සියලු කෙනෙක්ම විදුහල්පතිතුමන්ලා ගුරු මහත්ම මහත්මීන් අනෙකුත් සියලු ආයතන ප්‍රධානීන් ඒ සෑම කෙනෙක්ම මේ තිබෙන තත්ත්වයන් වලදි මෙතෙක් කරන සේවය මම ඉතාමත් අගය කරනවා. ඒ සෑම කෙනෙකුටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.
විශේෂයෙන්ම බදුල්ල වගේ දිස්ත්‍රික්කයක් ගත්තාම බදුල්ල දිස්ත්‍රික්කයෙත් මහියංගණය, ගිරාඳූරුකෝට්ටේ, වැනි ප්‍රදේශ ගත්තහම රිදීමාලියද්ද වැනි ප්‍රදේශ දුෂ්කර ප්‍රදේශ. අපේ රාජ්‍ය නිලධාරීන් බොහෝ අමාරුකම් බොහෝ දුෂ්කරතාවන් තුළ තමයි ඒ දුෂ්කර ප්‍රදේශවල තමන්ගේ සේවාවන් කරන්නේ. ඒ නිසා ඒ සෑම කෙනෙකුටමත් මේ සඳහා සහයෝගය දැක්වූ මැතිඇමතිතුමාලාටත් මගේ ගෞරවණීය ස්තූතිය පුද කරමින් මේ වකුගඩු රෝග නිවාරණය, වැළැක්වීම, මර්දනය සම්බන්ධයෙන් ගෙනියන පුළුල් ජාතික වැඩසටහනට තමුන්නාන්සේලාගේ තව තවත් සහයෝගය ලබා දෙන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා.
ඊට අමතරව යම් කාරණයක් දෙකක් මම අද මේ වැඩසටහනට අමතරව කියන්න බලාපොරොත්තු වුණා ඊයේ පෙරේදා පුවත්පත් බලපුවහමත් මාධ්‍ය දිහා බලපුවහමත් අද උදේ පත්තර බලපුවහමත් මම පසුගිය දිනවල යම් යම් උත්සව රැස්වීම් රාශියකට සහභාගි වුණත් ඒ අදාළ විෂයට අදාළ කරුණු කතා කළා මිසක් ඉන් බාහිර දේවල් මම කතා කළේ නැහැ. නමුත් මම අද උදේ මට පෙනී ගියා විශේෂයෙන්ම පුවත්පත් බලපුවහම අද මේ උත්සවයට අදාළ නැති කාරණයක් දෙකක් පිළිබඳවත් රටට පණිවිඩයක් දීම සඳහා යම් කරුණු එකක් දෙකක් කිව යුතුයි කියලා. මේ දවස්වල බොහෝ වෙලාවට මාධ්‍ය තුළ සියලු අංශවල තිබෙන පුළුල් සාකච්ඡාවට සංවාදයට විවාදයට ලක් වෙලා තිබෙන යම් යම් උද්ඝෝෂණ ඇති වෙලා තිබෙන කාරණයක් තමයි වකුගඩු රෝගය වගේම මහබැංකු සිද්ධිය. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ දිනවල තිබෙන තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. ඒකයි මම කිව්වේ ඒකත් වකුගඩු රෝගය වගේ කියලා. ඒ නිසා මම තීන්දු කළා මහබැංකුව සඳහා නව අධිපතිවරයෙක් පත් කරන්න. ඉදිරි දින කිහිපයේදී. සිටින අධිපතිවරයාගේ කාලය හෙට දවසින් අවසන් වෙනවා. ඒ නිසා අලුත් බැංකු අධිපතිවරයෙක් පත් කිරීමට මම කටයුතු කරනවා.
අනෙක් කාරණය තමයි වැට් බද්දත් එක්ක ආපු ප්‍රශ්නත් එක්ක ඇතිවෙලා තිබෙන තත්ත්වයන් සාමාන්‍ය පොදු මහජනතාවගේ දෛනික ජීවිතයට බලපාලා තිබෙනවා. බඩු මිල ඒ සම්බන්ධයෙන් පරිහරණය කරන දේවල් පාරිභෝජනය කරලා තිබෙන දේවල් ඉහළ ගිහින් තිබෙනවා. ඒ නිසා මම අගමැතිතුමත් එක්ක සාකච්ඡා කළා ඊයේ හවසත් අද උදේත්. අපි ලබන සඳූදා රැස්වෙලා ආර්ථික විශේෂඥයන් සහ අදාළ සෑම කෙනෙක්ම මේ වැට් බද්ද පැනවීමෙන් පසුව රටේ සාමාන්‍ය පොදු මහජනතාවට ඇති වෙලා තිබෙන ආර්ථිකයට දෛනික ජීවිතයට ජීවන වියදම ඇතිවෙලා තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සහන සැලසීම සඳහා ඒ බදු පිළිබඳව සංශෝධනයක් කිරීමට මම පැහැදිලි තීන්දුවක් ගත්ත බවත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනෑ.
ඒත් එක්කම රජයේ සේවකයන්ගේ රාජ්‍ය නිලධාරීන්ගේ පසුගිය අයවැයත් එක්ක දුක්ගැනවිලි ආවා. විරෝධතා ආවා තමන් විශ්‍රාම යන කොට තමන්ට ගෙනියන්න තියෙන වාහනය නෑ කියලා. පර්මිට් එක නැවැත්තුවා කියලා. අපි ගිය සතියේ ඒ ගැන නැවත සාකච්ඡා කළා. කලින් ඒ ගැනත් තීන්දුවක් ගත්තා. මම හිතන්නේ ඊයේ පෙරේදා නව චක්‍රලේඛය නිකුත් කළා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන්. අහිමිවුණු වරප්‍රසාදය නැවත ලබාදීම සඳහා ඒ ගැනත් ඒ චක්‍රලේඛය දැන් මේ වන විට පිට වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. මේ කාරණා එක්කම තව කාරණයක් කියන්න ඕනෑ. මේ වකුගඩු රෝගය ගැන කතා කරන විට වල්නාශක, කෘමිනාශක, රසායනික පොහොර ගැන කතා කරන විට පසුගිය කාලේ ඔබ දන්නවා ග්ලයිෆොසෙට් තහනම් කළා.
ඊයේ කැබිනට් මණ්ඩලයේ අපි සාකච්ඡා කරන විට ප්‍රශ්නයක් මතු වුණා මේ ෆාම් ඔයිල් පිළිබඳවත්. ඒත් එක්කම ඊයේ හවස මට මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණා රේගුවෙන් අපේ රටට ගෙන්වන ෆාම් ඔයිල් පිළිබඳව. ලංකාවට ආනයනය කරන මේ වකුගඩු රෝගයටත් බලපාන ඉතාම නරක ඇසිඩ් වර්ගයක් රසායනයක් මේ තුළ තිබෙනවයි කියන එක. ඒ අනුව පෙනී ගිහින් තිබෙනවා මේ ගේන ෆාම් ඔයිල්වල තත්ත්වය ඉතාමත් නරකයි කියලා. නොයෙකුත් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් මිනිසුන්ට කිසිම ආදරයක් නැති මුදල් හම්බ කිරීමේ අරමුණෙන් පමණක් වැඩ කරන ඇතැම් ව්‍යාපාරිකයන් ජාවාරම්කාර බොහෝ වෙලාවට මේ වගේ බොහෝ බරපතළ වැරදි කරනවා. ඒ නිසා මේ ෆාම් ඔයිල් ප්රශ්නය පිළිබඳවත් දැනට ඇතිවෙලා තිබෙන තත්ත්වය සැලකිල්ලට අරගෙන මම උදේ රේගු අධ්යක්ෂ ජෙනරාල්වරයාටත් උපදෙස් දුන්නා පර්යේෂණ වාර්තා මට හැකි පමණ ඉක්මනින් ලබාදෙන්න කියලා. ඒ අනුව අපේ රටට නුසුදුසු ෆාම් ඔයිල් ගෙන්වනවා නම් විශේෂයෙන්ම මම ලබන සඳූදා අඟහරුවාදා වන විට මේ ආහාර සඳහා පාවිච්චි කරන ෆාම් ඔයිල් වහාම මේ රටට ගෙන්වීම තහනම් කිරීමට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කරන්න ඕනෑ.
ඒ නිසා අද දවසේ මේ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයත් ඒ වගේම මේ ප්‍රදේශයේ සියලු මැති ඇමැතිතුවරුන්, රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීන්, ආදරණීය දරුවන්, මවුපියන්, අපේ ආදරණීය ගොවි ජනතාව මේ සෑම කෙනෙක්ම එක් වෙලා මේ වැදගත් කාර්යයට එක්වන්න ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා. ඒ නිසා අද දවසේ අපේ ප්‍රධාන අරමුණ කාර්ය පරමාර්ථය මේ ජාතික ඛේදවාචකයක් වුණු වකුගඩු රෝගය මේ රටෙන් තුරන් කිරීමේ කාර්යයේදී මේ ගන්නා වූ වැඩපිළිවෙළට ඔබ සෑම කෙනෙක්ම මෙතෙක් දැක් වූ සහයෝගයට නැවත නැවතත් මගේ ස්තූතිය පළ කරමින් ඉදිරියේදී සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජනතාවක් බිහි කර ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් අපි කටයුතු කරමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් සමුගන්නවා.