උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සුවපත් කිරීම සඳහා පළාතේ ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරු සහ පාරම්රික වෛද්‍යවරු පිරිසක් ඉදිරිපත් වී සිටිති. උතුරු මැද පළාතේ සෞඛ්‍ය අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතාගේ විශේෂ ඉල්ලීමක් මත අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුප්‍රකට ආයුර්වේද වෛද්‍ය විශාරදයකු වන එස්.එස්. ගුණවර්ධන මහතා සහ ඇලයාපත්තුවේ වෙද මහතා ඇතුළු වෛද්‍යවරුන්ගේ පුරෝගාමීත්වයෙන් හා උපදේශකත්වයෙන් මෙම නව වැඩපිළිවෙළට පසුගිය 30 වෙනිදා අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති වෛද්‍ය සම්මන්ත්‍රණයෙන් මුල පිරුණි.
ආයුර්වේද විශේෂඥ වෛද්‍ය එස්.එස්. ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකි. ඔහු ලංකා පුත්‍ර ජනප්‍රසාදිනී හා වෛද්‍ය විශාරද යන ගෞරව නාම වලින් පුද ලද අයෙකි. ඇළයාපත්තුවේ වෙද මහතා මේ වන විටත් එම ප්‍රදේශයේ සායනයක් පවත්වමින් නන්දෙසින් පැමිණෙන වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ කාර්යයට උර දී සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් පළකළ පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය නන්දසේන මහතා මේ වන විට පළාතේ ප්‍රවීණ දේශීය වෛද්‍යවරු 50කට ආසන්න සංඛ්‍යාවක් වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා පුරෝගාමීව කටයුතු කරන බව සඳහන් කළේය. උතුරු මැද පළාත තුළ සුප්‍රකට පාරම්පරික වෛද්‍යවරුන් 400 දෙනෙකු පමණ සිටින අතර දහසකට අධික ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරු සහ උපාධිධාරී වෛද්‍යවරු සිටින බවද ඔහු සඳහන් කළේය. මේ සියලු දෙනාම වකුගඩු රෝගයට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර වේදයන් සතු පළාතේ ප්‍රවීණ වෛද්‍යවරුන් සමඟ ඒකරාශී කොට රෝගීන් සුවපත් කිරීමේ යාන්ත්‍රණය බල ගැන්වීමට පළාත් සභාවේ පූර්ණ අනුග්‍රහය ලබාදෙන බවද නන්දසේන මහතා අවධාරණය කළේය. වෛද්‍යවරුන්හට රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීෙම්දී අවශ්‍ය වන වෛද්‍ය පරීක්ෂණ ඉටුකර ගැනීම සඳහා දැනට වසාදමා ඇති අනුරාධපුර ආයුර්වේද මහ රෝහලේ වෛද්‍ය රසායනාගාරය ඉතා ඉක්මනින් විවෘත කිරීමට පියවර ගන්නා බවද තාක්ෂණවේදීන් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවද ඇමතිවරයා පැවසීය. මීට අමතරව වකුගඩු රෝගීන් හට ප්‍රතිකාර කිරීෙම්දී අවශ්‍ය වන දුර්ලභ ඔසු පැළ ඇතුලු වෙනත් ඔසු වර්ග වගා කිරීම සඳහා පරසන්ගස්වැව සහ, තිරප්පනේ විශාල ඔසු උයන් දෙකක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ. එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය ගමනාගමන පහසුකම් සලසාදීමට ද අත්‍යවශ්‍ය ඔසු වර්ග හා වෛද්‍ය උපකරණ ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා සපයා දීමට ද කටයුතු යොදන බව නන්දසේන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. පසුගිය 30 වෙනිදා පැවති සම්රම්භක වෛද්‍ය සම්භාෂාවේදි මේ සම්බන්ධ සියලු කරුණු සාකච්ඡා කළ අතර වෛද්‍යවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට හැකි වූ බව ද ඒ අනුව ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.
මේ අතර වකුගඩු රෝග නිවාරණය සඳහා දේශීය වෛද්‍යවරුන්ගේ සේවය සලසාදීම හා හෙළ ඔසු වර්ග මේ සඳහා යොදා ගැනීමේ නව වැඩපිළිවෙළ පිළිබඳව අදහස් පළකළ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ගුණවර්ධන මහතා වකුගඩු රෝගය නිට්ටාවටම සුව කිරීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර හා හෙළ ඔසු වර්ග හැරෙන්නට වෙනත් විකල්ප ක්‍රමවේදයක් නොමැති බව එකහෙළා අවධාරණය කළේය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා පාරම්පරික හෙළ වෙදකම තුළ වකුගඩු රෝගයේ අවසාන අදියර රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීම පමණයි. මේ වනවිටත් රුධිර කාන්දුකරණය අවශ්‍ය රෝගීන් සිය ගණනක් මේ සඳහා රෝහල්වල පහසුකම් නොමැති නිසා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවට වාර්තා වෙනවා. එමෙන්ම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම විශාල වශයෙන් සිදු කිරීමට රෝහල්වල ඇති පහසුකම් ඉතා සීමිතයි. මෙම පසුබිම තුළ ආයුර්වේද වෛද්‍යවරුන් සහ පාරම්පරික වෙද මහත්වරුන් වකුගඩු රෝගීන් හට පිහිට වීමට ඉදිරිපත්වීම විශාල පුණ්‍ය කර්මයක් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
වකුගඩු රෝගයට ප්‍රතිකාර කොට ලෙඩුන් විශාල පිරිසක් මා විසින් සුවපත් කොට තිබෙනවා. එකම අඩුපාඩුව බාධකය මේ අත්‍යවශ්‍ය දුර්ලභ ඔසු වර්ග හිඟයයි. ඒවා අතරින් ලොත් සුඹුල්, තුවරලා සහ දියමිත්ත වැනි දේශීය ඔසු වර්ග සුවිශේෂයි. මෙම ඔසු පැළෑටි ඇතුලු සෙසු දුර්ලභ පැළෑටි වර්ග වගා කොට උතුරු මැද පළාත තුළ වෛද්‍යවරුන් හරහා එම වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නිසා ගිය වසරේ සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති උපහාර පිදීෙම් උත්සවයකදී ඔයාමඩුව ප්‍රදේශයෙන් ඔසු උයනක් සඳහා අක්කර 50ක භූමි භාගයක් මා හට ලබාදීමට පොරොන්දු වූ නමුත් එම පොරොන්දුව ඉටු වී නැහැ. මා බලාපොරොත්තු වූයේ අසරණ රෝගීන් සුවපත් කිරීම සඳහා සියලු පහසුකම් සහිත ආයුර්වේද රෝහලක් එහි ඉදිකිරීමයි. එය ක්‍රියාත්මක කිරීමටත් හැකි වී නැහැ. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අනුරාධපුර ප්‍රදේශයේ වෘත්තිකයෙක් රෝහලක් ඉදිකිරීම සඳහා මේ වන විටත් අනුරාධපුර මහ රෝහල ආසන්නයේ මිලියන 30ක් පමණ වටිනා ඉඩමක් පරිත්‍යාග කර ඇති අතර ජපානය, ඉන්දියාව වැනි රටවල් ඇතුළු ජාත්‍යන්තර සහයෝගය මත මිලියන 300ක් පමණ වැය වන මෙම ආයුර්වේද රෝහල ඉදිරි මාස 06 තුළ ඉදිකොට අසරණ රෝගීන්ට සහනය සලසා දීමට බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය විශාරද ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අනුරාධපුර ආයුර්වේද මහ රෝහලේ අනිවාර්යයෙන්ම වකුගඩු රෝගීන් සඳහා වෙන් වූ සියලු පහසුකම් සහිත වාට්ටු සංකීර්ණයක් තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වෛද්‍යවරු සිටිනවා. එමෙන්ම නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය ඇතිව වකුගඩු රෝගවලට ප්‍රතිකාර සහ ඒ සඳහා අවශ්‍ය දේශීය ඔසු වර්ග හඳුනා ගැනීම වැනි කරුණු පිළිබඳව ප්‍රවීණ සහ නවක වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩමුළු, සම්මන්ත්‍රණ සහ පුහුණු කඳවුරු සංවිධානය කිරීමට ඉක්මනින් පියවර ගත යුතුව තිබෙනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් ප්‍රවීණ බටහිර වෛද්‍යවරයකු වන කොතලාවල වෛද්‍ය විද්‍යා පීඨයේ වෛද්‍ය නිශාන්ත රණසිංහ මහතා මේ වන විටත් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දේශීය වෛද්‍ය සායනයකට සම්බන්ධ වී අපේ වෙද මහත්වරු සමඟ එක්ව රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිරිපත්ව සිටීමයි. මෙය ඉතා හොඳ පූර්වාදර්ශයක්. බටහිර වේවා, ආයුර්වේදය පාරම්පරික වෙදකම හෝ වේවා ඒ තුළින් මෙන්ම ඒ සියලු ක්‍රමවේදයන්හි ඒකාබද්ධතාවයකින් අසරණ රෝගීන් සුවපත් කිරීම වෛද්‍යවරුන් වශයෙන් අපේ යුතුකම සහ වගකීම විය යුතුයි. ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ගුණවර්ධන වෙද මහතා ග්ලයිපොසිට් වැනි පළිබෝධනාශක දිගින් දිගට පසට එක්වීම නිසා ජලය තුළින් වකුගඩු රෝගය ග්‍රාමීය ප්‍රදේශවල පැතිරී යන බව සත්‍යයක් වුවද එය එම රෝගය ව්‍යාප්ත වීම සඳහා දායක වන එකම කරුණ නොවන බව පැවසීය. දිනපතා අප ගන්නා ආහාරවල ඇති වස විස මෙන්ම කිසිදු වගවිභාගයක් නොමැතිව ඔසුහල් වලින් ලබාගෙන භාවිතා කරන විවිධ විටමින් වර්ග සිරප් වර්ග සහ ඔසු වර්ග පිටරටින් ගෙන්වල පළතුරු, රසකැවිලි, මාංශවර්ග, කිරි වර්ග යනාදිය නිසා වකුගඩු රෝග ව්‍යාප්තවීම සිදුවෙනවා. අපේ ශරීරය තුළ රුධිරයේ ඇති වස විස වර්ග පෙරන එකම ඉන්ද්‍රිය වන්නේ වකුගඩු පමණක් බව සිතිය යුතුයි. අනවශ්‍ය ලෙස දිගින් දිගටම වස විස පෙරාදීමට සිදුවීම නිසා වකුගඩු අකර්මණ්‍ය වනවා. එමෙන්ම අද සමාජය තුළ ඇති යාන්ත්‍රීකරණය වූ ජීවන රටාව නිසා ඇතිවන මානසික අසහනයත් මෙම වකුගඩු රෝග හට ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වෙනවා. මගේ තවත් යෝජනාවක් වන්නේ සෑම ගෙවත්තකම දෛනික ආහාරවේලට අවශ්‍ය වන දේශීය එළවළු වර්ග දෙකක් තුනක්, ජනතාව දැනුම්වත් කොට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජයේ හෝ පළාත් සභාවේ මැදිහත්වීමෙන් නොමිලයේ සපයා දීමයි. උතුරු මැද පළාත තුළ අතීතයේ වැවී තිබූ ගහකොළ මේ වන විට විනාශ කර දමා තිබෙනවා. එමෙන්ම වකුගඩු රෝග වැනි රෝගාබාධ වළක්වාලීමට සමත් කැකිරි, පිපිඤ්ඤා, වට්ටක්කා, ලබු සහ පුහුල් වැනි බෝග වර්ග එදා ගම්වල සුලභව වැවුණා. අද මෙම එළවළු වර්ග පවා වගා කරන්නේ කෘෂි රසායනික ඇතුළු තෙල් පොහොර යොදාගෙනයි. අනෙක මෙම ආහාර වර්ග භාවිතයට ගන්නේ අතළොස්සක් පමණයි. ඒ නිසා තවත් පමා නොවී අපේ දේශීය ආහාර රටාව යළි පණ ගැන්විය යුතු යැයි කීය