Sunday, November 17, 2024

වගාවට මුලින් යොදන්න නුසුදුසු රසායනික පොහොරක් ගෙන්වා කාබනික නමින් බෙදන්න යයි

වී වගාවට මුලින් යෙදීමට කිසිසේත් නුසුදුසු බව කියන පොටසියම් ක්ලෝරයිඩ් නම් රසායනික පොහොර ටොන් 30,000 ක් ගෙන්වා ඇති ආණ්ඩුව කාබනික පොහොර බෙදා දෙන බව කියමින් ගොවීන්ට බෙදා තවත් රැවටීමක් කිරීමට සුදානම් වෙයි.

ලිතුවෙනියාවෙන් ගෙන් වූ මෙම පොහොර තොගය ඊයේ කොළඹ වරායට ළඟා වූ බවත්, වී  වගාව සඳහා ඒවා අද සිට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බවත්, කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත.

පොටසියම් ක්ලෝරයිඩ් යනු පරිපුර්ණ රසායන ද්‍රව්‍යයකි . පොහොරක් ලෙස එය වී වගාවේ මුල් අවස්ථාවේ යෙදීමට කිසිසේත් නිර්දේශ  නොකරන බව කියති. එය සුළු වශයෙන් යෙදිය යුතු වන්නේ ගොයම් වැඩීමෙන් පසුව සහ කරල් හට ගන්නා අවස්ථාවේ ය. මුල් අවස්ථාවේ කුඹුරුවලට යෙදිය යුත්තේ නයිට්‍රජන් අඩංගු පොහොර ය. එම අවශ්‍යතාවය සඳහා කිසිදු පොහොරක් ලබාදීමට රජය සමත් වී නැත.

රජරට වී ගොවිතැන් කටයුතු ඔක්තෝබර් 15 (හෙට ) සිට ඇරඹීමට සැලසුම් කොට තිබුණ ද පොහොර නොමැති නිසා වගා කටයුතු ආරම්භ කළ නොහැකි වී තිබේ. කන්න රැස්වීම් පැවති තැන්වල දී ගොවීන් ප්‍රකාශ කොට ඇත්තේ පොහොර නැත්නම් ජලය ද අවශ්‍ය නොවන බව යි.

ඔක්තෝබර් 15 වන විට ගොවීන්ට පොහොර දෙන බව කී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැන් මේ මොහොතේ ගොවිතැනට අවශ්‍ය පොහොර වෙනුවට මුල් වගාවට නුසුදුසු පොහොරක් දී රැවටීමක් කිරීමට යන බව කෘෂි ක්ෂේත්‍රයේ තතුදත් උදවිය කියති.

එමෙන් ම රසායනිකයක් වූ පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොරක් යයි කීම නිසා කෘෂිකර්ම ඇමතිවරයා සමාජ මාධ්‍යයේ බරපතළ උපහාසයට ලක්ව ඇත.

Yukthiya

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles