Friday, January 24, 2025

වජිරට ගාල්ලෙන් බැනුම් -පාක්ෂිකයින් නොසන්සුන්.

අගමැති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සැමදා ආරක්ෂා කළ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පක්ෂ ප්‍රතිසංවිධානයේදී මෙවරද කුණු මුල්ලට විසිවීම එතුමාට කළ බලවත් අසාධාරණයක් බව පෙන්වා දෙමින් වජිර අබේවර්ධනට හිතැති පාක්ෂිකයෝ විශාල පිරිසක් ඉමහත් කැළඹිල්ලටත්, දැඩි නොසන්සුන්කාරීව ඇමතිවරයාගේ ගාල්ල, උළුවිටිකේ කාර්යාලයට අද (27) උදෑසන රැස්වී ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වෙයි. පසුව ඇමති වජිර අබේවර්ධන මහතා ඔවුන් වෙත දුරකථන ඇමතුම් දෙමින් සන්සුන්ව එම ස්ථානයෙන් පිටව යන ලෙස කළ දැනුම්දීම නිසා පිරිස පිටව ගොස් තිබේ. පක්ෂය කිසිදා හැර නොයමින්, අද ඊයේ සිට පමණක් නොව වසර ගණනාවක සිට ම නායකත්වයට අභියෝග එල්ල වූ සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමට ඇමති වජිර කටයුතු කළ බවත් මෙවරත් ඒ ලෙසම විශ්වාසභංගය එල්ල වූ අවස්ථාවේ සිට ම විවිධ කරුණු ගෙන හැර දක්වමින් එය පරාජය කිරීමට සෑම උත්සාහයක්ම විවිධ අයුරින් ගනු ලැබුවේ වජිර අබේවර්ධන ඇමතිවරයා බව නායකත්වයට අද අමතකව ඇති දැයි එම පාක්ෂික පිරිස් දැඩි ආවේගයෙන් යුතුව ප්‍රශ්න කළ ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂයට කිසිදා ජයග්‍රහණය කළ නොහැකියි කියමින් මහින්ද රාජපක්ෂට පක්ෂය උගස් කිරීමට රාජපක්ෂගේ දෙපා මුල වැටුණු රාජකීය පැලැන්තියද නැවත ලැජ්ජා නැතිව පැමිණි පසු අද පක්ෂයේ තනතුරු දී තිබෙන්නේ පංතියට එල්ල වන අභියෝගවලින් ගැලවීමට දැයි එම පාක්ෂිකයෝ ඉමහත් ආවේගයෙන් යුතුව හඬනගා ඇත. නායකත්වයට හිතවත් සමනල කල්ලියට (මෙහිදී ඒ සඳහා ඔවුන් භාවිත කළ වචන මෙහි පළ කළ නොහැකිය) පක්ෂයේ ඉහළ තනතුරු, ඇමති ධූර සහ වරප්‍රසාද ලබාදෙමින් සිටියදී සහ නායකත්වයට එරෙහිව එදා සිටම කැරලි ගැසූ පිරිස් වෙත හොඳ ඇමති ධූර හා පක්ෂයේ තනතුරු ලබාදෙන්නේ එතුමා දක්ෂ, වැඩට සමතෙකු නිසා නායකත්වයට හිතවත් අය කැපීයාමට ඇති බිය නිසාදැයි පාක්ෂිකයින්ගේ අදහසයි. ඇමති වජිර අබේවර්ධන මහතාට ස්වදේශ කටයුතු ඇමති ධූරය ද දුන්නේ දෙකට කඩාය. එයට ඉන් පෙර එක්කර තිබූ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ගලවා දමා තිබුණි. අවස්ථා කිහිපයකදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයටම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ විෂය ඇතුළු කරන ලෙස විවිධ පාර්ශව නායකත්වයෙන් ඉල්ලා තිබුණද එය ඉටු නොකළේ පාක්ෂිකයින් ඉහත දැක්වූ අදහස නිසාදැයි මෙම පසුබිම තේරුම් ගන්නා විද්වතුන්ගේ මතයයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles