Friday, January 10, 2025

වතුර බිල් නොගෙවූ මැති ඇමති 48කට එරෙහිව වාසු නඩු මගට

රුපියල් කෝටියකට ආසන්න හිඟ ජල බිල්පත් ගෙවා නොමැති රජයේ නිවාසවල වෙසෙන මැති ඇමතිවරුන් 48 දෙනෙකුට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නඩු පැවරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජාතික ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දී තිබේ.

නඩු පවරන බවට සඳහන් ලිපි වහා ම එම මැති ඇමතිවරුන් වෙත යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඉකුත් 24 වන දා ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දී ඇත.

යහපාලන රජයේ සිටි හා වත්මන් රජයේ සිටින මැති ඇමතිවරුන් පිරිසක් එසේ ජල බිල්පත් ගෙවා නොමැති අතර එම හිඟ බිල්පත් ගෙවන ලෙසට අවස්ථා තුන හතරකදී ඔවුන්ට දැනුම් දීම් කළ ද ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම සැලකිල්ලට ගනිමින් ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයට එසේ උපදෙස් ලබා දී තිබේ.

ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් හා අමාත්‍යවරයා අතර ඉකුත් 24 වන දා පැවති සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර ඇත.

ඉහත සඳහන් මැති ඇමතිවරුන් 48 දෙනාට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් පිරිසක් ද රුපියල් කෝටි 7ක ජල බිල්පත් ගෙවා නොමැති බවට ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් එම සාකච්ඡාවේදී අමාත්‍යවරයාට දැනුම් දී ඇති නමුත් එම පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පෙර හිඟ ජල බිල්පත් ගෙවා නොමැති මැති ඇමතිවරුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මව්බිම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles