Wednesday, September 25, 2024

වන්දි ලබාගන්න නැවට ගිනිතිබ්බා…! – කපිතාන් සාක්ෂි දෙයි..

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව යටතේ පියවර ගැනීමේ හැකියාව විමර්ශන නිලධාරින් සතුව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (15) පෙන්වා දුන්නා ය.

මහේස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියේ නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත ආයතනය සතු ඊමේල් පටිගත කිරීමේ යන්ත්‍රයේ පිටපතක් විමර්ශන නිලධාරීන්ට භාර නොදීම පිළිබඳව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුවයි.

දේශීය නියෝජිතයා වන සීකොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අර්ජුන හෙට්ටිආරච්චි මහතා විදේශ ගතවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද මාධව තෙන්නකොන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

හෙට උදෑසන 9.30 ට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා අර්ජුන හෙට්ටිආරච්චි මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.

සමාගම වෙනුවන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කියා සිටියේ මෙම නෞකාවේ කපිතාන් වරයා සහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර වූ සන්නිවේදන පිළිබඳ වාර්තා වරාය අධීකාරියේ සන්නිවේදන අංශයේ ද පටිගත වන බවයි.

නමුත් මෙම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් කිසිදු බී වාර්තාවක ඒ පිළිබඳව සඳහනක් නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, අදාළ සන්නිවේදන දත්ත පිළිබඳව විමසා බලා විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන ලෙසයි.

නඩුව ලබන 30 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

මේ අතර වන්දි ලබා ගැනීමේ අරමුණින් වරාය අධිකාරිය ,,එක්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වු ගින්න පැතිරීමට ඉඩ ලබා දී ඇතැයි එම්. වී. එක්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා ඊයේ මහාධිකරණයේදී පෙන්වා දුන්නේ ය.

ඔහු කියා සිටියේ නෞකාව සම්බන්ධයෙන් වූ සියලු තොරතුරු කපිතාන්වරයා කොළඹ වරායේ හාබර් මාස්ටර්ට දන්වා තිබු බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරී පනත යටතේ මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත හරහා යැවීමට හාබර් මාස්ටර්ට බලය තිබු බව ද නීතිඥවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා ඊයේ මහාධිකරණයේදී කියා සිටියේ නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩලය බහාලුමක සිදුවූ ඇසිඩ් කාන්දුව පිළිබදව තොරතුරු ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වීමේදී වසන් කර ඇති බවයි.
(newsfirst)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles