Thursday, January 23, 2025

වඳ වීමට ගිය “ෆෙරෙට්” ගේ අලුත් උපත

සතුන්ගෙන් පිරුණ මේ සත්ව ලෝකයේ සමහරක් සතුන් හරිම විශේෂයි. මොකද ඒ සතුන් අතරින් සමහරක් සඳහටම වඳ වෙලා ගිහින්. එහෙම නැත්නම්, මේ වෙනකොටත් වඳ වීමේ තරජනයට මුහුණ දීලා. නමුත් විද්‍යා ලෝකයේ දියුණුවත් සමඟින් අද වෙනකොට මෙවැනි සතුන් බොහොමයකට නැවත උපත දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. අන්න ඒ වගේ ක්ලෝන මඟින් වඳ වීමේ තර්ජනයෙන් බේරා ගනු ලැබුණ තවත් සත්වයෙක් ගැන තමයි මේ කියන්න යන්නේ.

ෆෙරෙට් නමින් හඳුන්වන මේ සත්වයා කළු පාද සහිත ඉතාමත් හුරුබුහුටි සත්වයෙක්. වඳවීමේ තර්ජනයට මුහුණ දුන් ඇමරිකාවේ ක්ලෝන කරන ලද පළවෙනි සත්වයා වීම නිසා තමයි ෆෙරෙට් විශේෂ සත්වයෙක් ලෙස ලෝකයේ කතා බහට ලක් වෙන්නේ. එක්සත් ජනපදයේ මත්ස්‍ය සහ වනජීවී අංශය සහ වෙනත් සංවිධාන වල එකමුතුවෙන් සිදු කරපු විද්‍යාත්මක සොයා ගැනීම් සමඟින් තමයි මේ සත්ව විශේෂය සාර්ථක ආකාරයෙන් ක්ලෝන කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සිදුවීම ජෛව විවිධත්වයේ සංධිස්ථානයක් විය හැකි බවයි ඔවුන් විශ්වාශ කරන්නේ.

සංරක්ෂණ ක්‍රම අතරට ජෛව තාක්ෂණය ගෙන ඒම, එක්සත් ජනපදයේ මත්ස්‍ය සහ වනජීවී අංශය ආරම්භ කිරීම පරමාර්ථයබවයි ඔවුන් පවසන්නේ. මොකද යම්කිසි සත්ව විශේෂයක් වඳ වීමේ තරජනයට මුහුණ දී ඇති විට ජානමය වශයෙන් එම සත්වයින් බොහෝ කාලයක් රැක ගැනීම අසීරු බව ඔවුන් වටහාගෙන තිබුණා.

1985 වසරේදී කළු පැහැති පාද සහිත සත්වයෙකුගේ ජාන කොටස් සැන් ඩියාගෝ සත්වෝද්‍යානයේ ජාන සම්බන්ද විද්‍යාඥයෙකු වෙත රැගෙන ගියා.එම ජාන වලින් තමයි ක්ලෝන ආකාරයට මෙම ෆෙරෙට් සත්වයාට උපත ලබා දී තිබෙන්නේ. ඒ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කළ ජාන විද්‍යාඥ වෛද්‍ය රයිඩර් සේවය කරන්නේ ශීත කළ සත්වෝද්‍යානය නම් ස්ථානයක. මෙසේ ගබඩා කළ ජානමය කොටස් සාම්පල 10,000කට වඩා ප්‍රමාණයක් මේ ශීත කල ජානමය ගබඩාව තුල තිබීම තමයි එම ස්ථානයේ තිබෙන සුවිශේෂත්වය වන්නේ.

ගෘහාශ්‍රිතව ඇති කරන ෆෙරෙට් සත්වයෙකු ආදේශකයක් ලෙස භාවිතා කරමින් මේ ක්ලෝනය සිදු කරලා තියෙනවා වගේම එය ඉතාමත් සාර්ථක වීම ඔවුන්ට විශාල සතුටක් ගෙන දුන්නා. පසුගිය වසරේ දෙසැම්බර් 10 වෙනිදා තමයි මේ ක්ලෝනය ෆෙරෙට් කෙනෙක් ලෙස උපත ලැබුවේ.මේ කළු පාද සහිත නව ෆෙරට් සත්වයා ඔහුගේ සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත ලබා දීමට කටයුතු සිදු කළා. පරිසරයට එකතු වීමට කාලය එළඹුනාට පසුව කාලයකදී සත්වයින් සමඟ ජනගහනයට සහභාගී කරවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

නැති වී ගිය වගේම වඳවීමේ තර්ජනයට මේ වන විටත් මුහුණ දී තිබෙන සත්වයින් වෙනුවෙන් මේ උපත ලබා දීම සත්ව ලෝකය අලුත් මාවතකට ගෙන යනු ඇති බව තමයි විද්වතුන් ප්‍රකාශ කරන්නේ. ශීත කළ සත්වෝද්‍යානය සහ ලොව පුරා තර්ජනයට ලක්වූ විශේෂයන් ආරක්ෂා කිරීමට සහ පුනර්ජීවනය කිරීමට ක්ලෝනකරණයට ඔවුන් නව මුහුණුවරක් මේ වනවිටත් ලබා දී අවසන්.

Colombo Times.lk Blog අඩවියෙන් උපුටා ගැනිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles