Thursday, January 23, 2025

වරාය නගරයේ ආයෝජකයන් දිරිගන්වන පනත පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජනවලට සම්බන්ධ වන ආයෝජකයන් දිරිගන්වන සහන සහිත ආයෝජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (25) දහවල් මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් ලේකම්වරයා මෙසේද කීය.

වසර 2020 පෙබරවාරි 15 වැනිදා රු.බිලියන 61ක බදු ආදායමක් රජයට ලැබුණු බවත් එය මේ වසරේ පෙබරවාරි 15 වැනිදා දිනට රු.බිලියන 65ක් දක්වා වැඩි වී ඇති බවත් සඳහන් ‍කළේය. මෙහි ඇති විශේෂත්වය පැහැදිලි කළ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වසර 2019 අවසන් කාර්තුවේ පිරිවැටුම මත රජයට ලැබුණු බදු ආදායම 2020 පෙබරවාරි 15 වැනිදා රු. බිලියන 61ක් ලෙස ලැබුණු බව කීය.

වසර 2020 අවසන් කාර්තුවේ රටේ ආර්ථික වාතාවරණය බොහෝ සේ දුර්වල වුණා. එවැනි වාතාවරණයක් මත 2021 පෙබරවාරි 15 වැනිදා රු. බිලියන 65ක ආදායමක් ළඟාකර ගැනීමට හැකිවීම ආර්ථිකයේ පිබිදීමක් ඇතිවී තිබෙන බවට සංඛ්‍යාත්මක පෙන්නුම් කිරීමක් වන බවද කීය. මේ කාලයේදී අලුතින් බදුගෙවීමේ ලිපිගොනු 3000ක් එකතු වී ඇති බවද ලේකම්වරයා සිහිපත් කළේය. මෙහිදී විශේෂයෙන් 2019 නොවැම්බර් ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යෝජනා කළ බදු නිදහස් කිරීම් සහ බදු සංශෝධන නිසා රජයට ලැබෙන ආදායම අහිමි විය. එපමණක් නොව 2021 අය වැය යෝජනාවෙන් මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා තවත් බදු සංශෝධන ගණනාවක් සිදු කළේය. මේ බදු සංශෝධන සහ බදු අඩුකිරීම් මධ්‍යයේ කොවිඩ්- 19 ගෝලීය වසංගතයේ බලපෑම හමුවේ පවා බදු ආදායම් මේ වසරේ පෙබරවාරි 15 වැනිදා වැඩිවී තිබීම සතුටුදායක තත්ත්වයක් බව කීය.

වසර 2021 අයවැයෙන් රජය යෝජනා කළ බදු සංශෝධන aසහ ආයෝජන දිරිගැන්වීම් සඳහා වු නව අණපනත් මේ බදු වර්ෂයේ ආරම්භ වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නීතිගත කිරීමට කටයුතු කරන බවද මුදල් ‍‍‍‍ලේකම්වරයා කීය. ඒ අනුව දේශීය ආදායම් බදු පනත, වැට් බදු පනත, ආයෝජන බදු පනත්, සංශෝධනය කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එය සම්මත කර ගැනීමටත් කටයුතු කරන බව ද ‍ලේකම්වරයා සඳහන් කළේය. එපමණක් නොව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නව ආයෝජන සිදු කිරීමට ඉදිරිපත් වන ආයෝජකයන්ට පහසුකම් සැලසීමට හැකි ලෙස සකස් කරන නව පනත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන බවද ලේකම්වරයා කීය. එම පනත මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙන බවද ලේකම්වරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles