Sunday, September 8, 2024

වව්නතිව් ප්‍රහාරය ගැන ශානි පාස්කු කොමිසම ට හෙළිකළ කරුණු

පාස්කු ඉරුදින ත්‍රස්‌ත ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අද (25) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙනු ලැබීය.

ඒ, කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හා සම්බන්ධ වෙමිනි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපති කොමිසම සාක්ෂි ලබාගැනීමට උත්සහ කළද, ඔහුට කොවිඩ්-19 වෛරසය අසාදනයවීම සහ තවත් හේතුන් කිහිපයක් මත එම උත්සහය ව්‍යවර්ථ වී තිබුණි.

ඒ අනුව, ඔහු ව අද දින කොමිසම හමුවට ගෙන එන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝගකර තිබුණද, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ ද ඔහුව ජනාධිපති කොමිසමට රැගෙනවිත් නොතිබුණි.

ඒ කොළඹ ජාතික රෝහල තුළ හෘදයාබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටින ශානි අබේසේකර මහතාව රෝහලින් නිදහස් කිරීමට වෛද්‍යවරු නිර්දේශ නොකිරීම හේතුවෙනි.

පසුව ශානි අබේසේකර මහතා අද පස්වරු 2.30 ට පමණ කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ සිට ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදීම ආරම්භ කළේය.

මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පළමුව විමසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටිය දී 2018 නොවැම්බර් මස 30 වන දින වව්නතිව්හිදි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළේ ද යන්නය.

අදාළ සිදුවීම වු දිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ස්ථානයට ගොස් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් ඒ වනවිට සිදුවීමට අදාළව මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුව එම නිලධාරින් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබූ බවත් ශානි අබේසේකර මහතා පැවසීය.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ එම සැකකරු වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතන සිදුවීමට සම්බන්ධ බවට පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගත්තේද යන්නය.

අදාළ සැකකරු එම සිදුවීමට සම්බන්ධ නොවන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරගනු ලැබුවේ අප්‍රේල්  21 වනදා එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බව එහිදී සාක්ෂිකරු කියා සිටියේය.

ශානි අබේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය සහරාන් හෂිම් ඇතුළු අන්තවාදි කණ්ඩායමේ ක්‍රියාවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ගත්තේ ද පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles