සමහර චිත්‍රපට තියෙනවා නරඹන හැමෝටම එකම විදිහට දැනෙන්නෙ නැති. නමුත් 200% ක් විශ්වාසයි, CODA වගේ නිර්මාණයකට පුළුවන් නරඹන ඕනෑම අයෙකුගේ හදවත සනීපෙට පිරිමදින්නට. “සුන්දර චිත්‍රපටයක්” කියන යෙදුම භාවිතා වන චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් අතුරින් CODA හිමිකරගනීවි සුවිශේෂී ස්ථානයක්. CODA තුළ මොනාද නැත්තේ? මෙහි කතාකරන මානව සබඳතාවයන් ගැන විතරක්ම සලකා බැලුවොත්, දෙමාපියන් දරුවන් අතර, සහෝදරයා සහෝදරිය අතර, ගුරුවරයා ගෝලයා අතර, පෙම්වතා පෙම්වතිය අතර සහ විශේෂයෙන්ම රූබී සහ සංගීතය අතර ආදී වශයෙන්, සමස්ත චිත්‍රපටය පුරාවටම විහිද පැතිර පවත්නා සුන්දරත්වයක් තමයි CODA තුළින් විඳින්නට ලැබෙන්නේ.
චිත්‍රපටයේ නම ටිකක් අමුතුයි වගේද? මොකක්ද මේ CODA කියන්නේ? CODA – Child of deaf adult, එනම් අපේ කතානායිකාව රූබී කියන්නේ CODA කෙනෙක්. රූබී ගේ පවුලේ අම්මා, තාත්තා සහ අයියා යන තුන්දෙනාම ශ්‍රවණාබාධිතයින්. ඔවුන්ට කතා කරන්නත් බෑ. ඒ අය අතරේ හැදී වැඩෙන රූබී තමයි ඔවුනුත් බාහිර සමාජයත් යා කරනා පාලම වෙන්නේ. එනම් ඇය සාමාන්‍ය දරුවෙක් නිසා ශ්‍රවණාබාධිත පවුලේ අය වෙනුවෙන් බාහිර සමාජය හා සම්බන්ධ වෙන්නේ ඇයයි. විශේෂයෙන්ම රූබිලාගේ පවුලේ ජීවනෝපාය පවත්වාගෙන යන්නට නම් රූබිගේ අතරමැදි කාර්‍යභාරය අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා. CODA කෙනෙක් සතු කාර්‍යභාරයත් ඒකමයි කියලා සරලව හඳුන්වන්නට පුළුවන්. නමුත් රූබිට පුළුවන්ද හැමදාමත් තමන්ගෙ පවුල මත්තෙම නැහෙන්න? හැබැයි මේ කාරණය මුලුමනින්ම ඛේදනීය වූ තත්ත්වයකට පරිවර්තනය කර නොගෙනයි කතන්දරය ගොඩනැගෙන්නේ.
රූබී කියන්නේ දිරිය දියණියක්. කුඩා කල පටන්ම තවමත් තම පවුල වෙනුවෙන් ඇය CODA කාර්‍යභාරය සිදුකරනවා. නමුත් ඇයට තිබෙනවා ඇගේම ලෝකයක්. ඒ තමයි සංගීතය. සංගීතය ඔස්සේ සුපැහැදිලි අනාගතයක් ඈ සතු බව ඇගේ සංගීත ගුරුවරයා වෙතින් ඇයට වටහාගන්නට ලැබෙන නමුත් ඇගේ පවුල රකින එකම එයට ඇති ලොකුම බාධාව බවත් ඈ අවබෝධ කරගන්නවා. පවුල සමඟින් තිබෙන බැඳීම අතහැර දමා ආත්මාර්ථකාමීව සංගීත ලෝකයට අවතීර්ණ වෙන්නත් බෑ. නමුත් තමන්ගෙ එකම හීන ලෝකය කැපකරන්නටත් ඇයට බෑ. මොනතරම් දිරිය දරුවෙක් වුණත් රූබිට සිද්ධ වෙනවා දෙලොවක් අතර අතරමං වෙන්නට. ඒ අභියෝගයට ඇය මුහුණ දෙන හැටියි මුලු චිත්‍රපටය පුරාවටම දකින්නට ලැබෙන්නේ.
රූබී හැරෙන්නට පවුලේ චරිත නිරූපණය කරනා රංගන ශිල්පීන් සැබෑවටම ශ්‍රවණාබාධිතයින් වීමත් සුවිශේෂී කාරණයක්. රංගනයේ පලපුරුදුකම් ඇති අය නිසාත් හොඳ ශක්තිමත් රංගනයක් හැමෝගෙන්ම දකින්නට ලැබෙනවා. නමුත් චරිත නිරූපණ කටයුතු වෙනුවෙන් සැබෑවටම ශ්‍රවණාබාධිත ශිල්පීන් යොදාගැනීම සම්බන්ධයෙන් නම් චිත්‍රපටයේ මූල්‍ය සම්පාදකයින් විසින් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ශ්‍රවණාබාධිත ශිල්පීන්ව යොදා නොගතහොත් තමන් චිත්‍රපටයෙන් ඉවත්ව යන බවට මවගේ චරිතය නිරූපණය කරනා, ඇකඩමි සම්මානයකින් පිදුම් ලද ලොව එකම ශ්‍රවණාබාධිත ශිල්පිනිය වන Marlee Matlin විසින්, තර්ජනය කිරීමෙන් පසුව අයෝජකයින්ට පසුබසින්නට සිදුව තිබෙනවා.
රූබී ගෙ චරිතය වෙනුවෙන් Emilia Jones හට චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කරන්නටත් පෙරාතුවම මාස නවයක් තිස්සේම ඇමරිකානු සංඥා භාෂාව සහ ගායනය හදාරන්නට සිදුව තිබෙනවා. නවයොවුන් ශිල්පිනියන් සිය ගණනක් අතුරින් තෝරාගත් ඇයගේ කැපවීමේ උපරිම ප්‍රතිඵලත් එම විශිෂ්ට චරිත නිරූපණයෙන් දැකගන්නට ලැබෙනවා. තම පිටපතේ 40% ක් ම අඩංගු වන සංඥා භාෂාවෙන් සමන්විත දෙබස් සකසාගන්නට අධ්‍යක්ෂකවරියටත් සංඥා භාෂාව ඉගෙනගන්නට සිදුව තිබෙනවා. 2014 වසරේදී නිකුත් වූ ප්‍රංශ භාෂාවෙන් සමන්විත ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් වන ‘La Famille Bélier’ හි ඉංග්‍රීසි භාෂාවෙන් සමන්විත ඇමරිකානු ප්‍රතිනිර්මාණය විදිහටයි CODA නිර්මාණය වෙන්නේ. නමුත් චිත්‍රපට දිවිත්වයම 1996 දී නිකුත් වූ ජර්මානු චිත්‍රපටයක් වන ‘Beyond Silence’ චිත්‍රපටයට සමානකමක් දක්වන බවත් පැවසෙනවා.
– ලක්ෂ්මන් අරංවල
චිචාරක – සිනමාවේදීන්