පස් හැවිරිදි දැරියක් වන කෝපිකාගේ ළමා කාලයෙන් වැඩි කොටසක් ඔස්ට්‍රේලියානු රජය විසින් සිරගත කරනු ලැබ ඇත.උපුටා ගැනීම -BBC
2019 දී ඇයගේ පවුල ඉන්දියානු සාගරයේ ඔස්ට්‍රේලියාවට අයත් වාසභූමියක් වන ක්‍රිස්මස් දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයකට යවනු ලැබිණි.
ඔවුන් ජීවත් වන්නේ පැය 24 පුරා මුරකාවල් යෙදූ පරිශ්‍රයකය. එය මේ වනවිට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන හයකට වැඩි මුදලක් වැය වී ඇති මෙහෙයුමකි.
කෝපි, මිතුරියන් ඇය අමතන නාමයයි. කෝපිට දූපතේ ඇති පාසලට යාමට අවසර ඇත. ඇයව එහි රැගෙන යන්නේ පොලිස් වෑන් රථයකිනි.
ඇය ගැන නිරන්තරයෙන් ඇස ගසා සිටින ආරක්ෂකයන්ගෙන් පාසලේ දී නිදහස් වන අතර, එය ඇයගේ “ප්‍රීතිමත් ස්ථානයයි.”
“ඇයි හැම විටම අපේ පසුපස කවුරු හරි එන්නේ?” ඇය මින් පෙර ඇසුවාය.
කෝපි පත්ව ඇති තත්ත්වයට හේතුව ඇයගේ දෙමව්පියන්ය. ඔවුහු මීට දශකයකට පමණ පෙර සරණාගතභාවය ඉල්ලා ඔස්ට්‍රේලියාවට බෝට්ටුවකින් පැමිණි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයෝ වූහ.
ඔවුන් ක්වීන්ස්ලන්තයේ නගරයක වසර ගණනාවක් දිවි ගෙවීය. මේ අතර එක්තරා දිනක ඔවුන් පිටුවහල් කිරීම සඳහා පොලිසිය පැමිණියේය.
ඔවුන් දිවි ගෙවූ නගරයේ ප්‍රජාව ඔවුන් රඳවා ගැනීමට සටන් කළ අතර, ඔස්ට්‍රේලියාවේ ඉහළම අධිකරණයක නීතිමය සටනකට මුලපිරීය. ඒ අතර, පවුලේ සියලු දෙනා රැඳවුම් භාරයේ පසුවෙති.
“ඔබට මේ ජීවිතය ගැන හිතාගන්නවත් බැහැ,” කෝපිකාගේ මව ප්‍රියා බීබීසී සේවයට පැවසුවාය.
“මේක සාමාන්‍ය දෙයක් නොවේ. අපට මිනිස්සු එක්ක කතා කරන්න බැහැ. මුරකරුවන් අප දිහා බලාගෙන ඉන්නවා. අපට තනිවම එළියට යන්න බැහැ. මේක රැඳවුම් මධ්‍යස්ථානයක් නොවේ, මේක සිරගෙයක්.”
‘බිලෝලා (Biloela)පවුල’
මුරුගප්පන් පවුලේ සිව්දෙනෙකි: මව ප්‍රියා, පියා නඩේස්, කෝපි සහ ඇයගේ තුන් හැවිරිදි සහෝදරිය තර්නිකා.
ඔවුන් ඔස්ට්‍රේලියාවේ වඩාත් ප්‍රසිද්ධම සරණාගතයින් වන නමුත්, ඔවුන් පවුලේ නමින් කිසිවෙක් නොදන්නා තරම්ය.
ඒ වෙනුවට ඔවුන් “බිලෝලා පවුල” නමුන් හඳුන්වති. එය ඔවුන් වසර හතරක් ජීවත් වූ කුඩා නගරයේ නමය.
නඩේස් සහ ප්‍රියා 2012 සහ 2013 වර්ෂවලදී වෙන වෙනම ඔස්ට්‍රේලියාවට පැමිණ සරණාගතභාවය ඉල්ලා සිටියහ. ඔවුන්ට තාවකාලික ආරක්ෂක වීසා බලපත්‍ර ලබා දීමට රජය පියවර ගත්තේය.
දෙදෙනාම බිලෝලා වෙත ගිය අතර, දෙමළ සරණාගතයින් ඇතුළු නව සංක්‍රමණිකයින් සේවයට බඳවා ගන්නා මාංශ කර්මාන්තශාලාවක් එහි පිහිටා තිබේ.
ඔවුන් දෙදෙනා එහිදී හමු විය. ඔවුහු ආදරයෙන් බැදී, විවාහ වී, දරුවන් දෙදෙනෙක් ලැබූහ.
නඩේස් රැකියාවේ නරත වන අතර ප්‍රියා දරුවන් රැකබලා ගත්තාය. සති අන්තයේ ඔවුහු සිය මිතුරන් සමඟ මසුන් ඇල්ලීමට හෝ නිවසේ සිට කාඩ් සෙල්ලම් සෙල්ලම් කළහ.
“ඔවුන් හොඳ මිනිස්සු” යැයි හිතවත් මිතුරියක් වන වාෂිනි රිස්වාන් පැවසීය. මෙම යුවළ ඇයට පවුලේ අය මෙන් ලෙන්ගතුය. ඇය සහ ඇගේ දරුවන් අපයෝජනකාරී සැමියා වෙතින් පලා යන විට ඔවුහු ඇය නිවස තුළට ගෙන රැකවරණය සැලසූහ.
ඇය දැන් සෑම උදෑසනකම ෆේස්බුක් මැසෙන්ජර් හරහා ප්‍රියා සමඟ කතාබස් කරන්නීය.
“මේ දැනුත් මම ඇයට කිව්වා, මට නැවත ඇය එක්ක ක්‍රීඩා කිරීමට අවශ්‍යයි කියලා. අපි ඒවා සිදු කළ ආකාරය මතකද? නැවතත් අපි ඉක්මනින් ඒ දේ කරමු,” යැයි ඇයට කී සැටි වාෂිනි රිස්වාන් බීබීසී සේවයට පැවසුවාය.
පිටුවහල් කිරීමේ උත්සාහයන්
ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ දී පීඩාවට පත් වෙනු ඇතැයි බියෙන් ප්‍රියා සහ නඩේස් යන දෙදෙනාම ඔස්ට්‍රේලියාවට පලා ගියහ.
යුදමය වාතාවරණය තුළ දෙමළ ජනතාවට විවිධ හිරිහැරවලට මුහුණ දීමට සිදුවිය.
වසර ගණනාවකට පසු ඔවුන්ගේ සරණාගත ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප විය. සරණාගතයින් ලෙස සැලකීමට අවශ්‍ය නිර්ණායක සපුරාලීමට ඔවුන් අසමත් වූ බව ඔස්ට්‍රේලියාව තීන්දු කළේය.
එම පදනම මත ඔවුන් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව දෙවරක් උත්සාහ කළේය.
පළමු උත්සාහය සිදු වූයේ පවුලේ තාවකාලික වීසා බලපත්‍රය 2018 දී කල් ඉකුත්වීමෙන් පසුවය. ආරක්ෂකයින් පැමිණියේ අලුයමට පෙර වැටලීමකටය. එය පිටුවහල් කිරීමේ පොදු උපක්‍රමයක් බව නීතිඥයෝ පවසති.
ඉන්පසු, ඈතින් පිහිටි මෙල්බර්න්හි රැඳවුම් මධ්‍යස්ථානයකට මෙම පවුල රැගෙන ගියේය. දින කීපයකට පසු ඔවුන් ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයකට නංවා තිබේ.
එහි දී අසාමාන්‍ය දෙයක් සිදු නොවූයේ නම් ඔවුන් ඒ වන විට සැලසුම් කළ පරිදි පිටුවහල් කිරීමට ඉඩ තිබිණි.
ඔවුන්ගේ මිතුරන් රැගෙන යන විට, 6,000ක් වූ බිලෝලා නගරවාසීන් ඔවුන්ගේ කෝපය මාධ්‍ය වෙත ගෙන ගියහ.
#HometoBilo හෑෂ්ටැගය යටතේ ඔවුහු විරෝධතා ව්‍යාපාරයක් දියත් කර දේශපාලඥයන්ට ද බලපෑම් එල්ල කළහ. මෙම පවුලට සහය දැක්වීම සඳහා සකස් කෙරුණු පෙත්සමකට අත්සන් 350,000කට වඩා ලැබී තිබිණි.
“ඔවුන් අපෙන් කෙනෙක්. ඔවුන් අයිති බිලෝලාවට,” ඇන්ජෙලා ෆ්‍රෙඩ්රික්ස් පැවසීය. මෙම පවුලට සහයෝගය ලබා දෙන ඇන්ජෙලාට, ප්‍රියාව හමු වී ඇත්තේ බිලෝලා පල්ලියේදීය.
පිටුවහල් කිරීම නවත්වමින් වාරණ නියෝගයක් ලබා ගැනීමට නීතීඥයන් ක්‍රියා කළ අතර, මුරුගප්පන් පවුල නැවතත් මෙල්බර්න්හි රැඳවුම් මධ්‍යස්ථානයට යැවිණි.
නෛතික සටනක් ක්‍රියාත්මක වූ අතර, අවසානයේ අධිකරණයෙන් ප්‍රකාශ වූයේ එම පවුලේ ඉල්ලීම්වලට එරෙහි තීන්දුවකි.
එබැවින් 2019 දී රජය යළිත් ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයකට පවුලේ අය නැංවීමට පෙර ඔවුන්ගේ භාණ්ඩ ඇසුරුම් කරගැනීමට ආරක්ෂකයන් ලබා දුන්නේ පැය දෙකක කාලයක් පමණි.
කලබලයට පත් නඩේස් සිය නීතිඥයන් දැනුවත් කළේය. ඔවුන් බලහත්කාරයෙන් ගුවන් යානයට පැටවීමේ දර්ශන නඩේස් රූගත කළ අතර, මව යානය තුළට ඇදගෙන යද්දී ළදරුවන් හඬා වැලපුණහ. පුවත් නාලිකා සහ සමාජ මාධ්‍යවල බෙදා හැරුණු මෙම දුක්ඛිත දර්ශනය දුටු ඔස්ට්‍රේලියානුවෝ අවදි වූහ.
යළිත් වරක් වාරණ නියෝගයක් ලබා ගැනීමට නීතිඥයන් ක්‍රියා කළ අතර, යානය ගුවන් ගමන අතරමඟ හැරවීමට නියෝග ලැබිණි. පවුල නැවත ඔස්ට්‍රේලියාවට රැගෙනවිත් රටේ බටහිර වෙරළට කිලෝමීටර් 3,000ක් දුරින් පිහිටි ක්‍රිස්මස් දූපතට පිටත් කර යැවීය.
ඇඳන් 400ක් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක් එහි මෑතකදී නැවත විවෘත කර තිබිණි. මුරුගප්පන් පවුල එහි එකම පදිංචිකරුවන් බවට පත්විණි.
රැඳවුම් මධ්‍යස්ථානයේ ජීවිතය
රැඳවුම් භාරයේ සිටි වසර ගණනාව තුළ ප්‍රියා නොසන්සුන් තත්ත්වයට පත් වී ඇත. ඇය ගැඹුරු මානසික අවපීඩනයකින් පෙළෙන අතර ශරීර ශක්තිය දැඩි ලෙස පහත වැටී තිබේ.
“මට දවස ගත කිරීම ඉතා අපහසුයි. මානසිකව හා ශාරීරිකව” ඇය වීඩියෝ සබැඳියක් හරහා බීබීසී සේවයට පැවසුවාය.
ඇය තම දරුවන් අසමත් කර ඇතැයි බියකින් පසුවේ.
“මගේ දරුවන් දෙදෙනාම දැන් ලොකුයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ පිටතට ගොස්, බාහිර ලෝකය දැක බලා විනෝද වීමටයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිදහසේ ජීවත් වීමටයි.”
මෙම පවුල ජීවත් වන්නේ වැටවල් යෙදූ විශාල අංගනයක කාමර දෙකක් සහිත කන්ටේනර් පෙට්ටියකය. ඇතුළත සිට එහි දොරවල් අගුළු දැමිය නොහැක. එමෙන්ම, මුරකරුවෝ සෑම දිනකම එහි මුර සංචාරයේ යෙදෙති.
එය තුළ දැඩි උෂ්ණත්වයක් පවතින අතර, විවිධ කෘමීන් ඔවුන්ගේ කාමර ආක්‍රමණය කර ඇත.
ඔවුන්ගේ ජීවිතවල සෑම මිනිත්තුවක්ම පාලනය වන්නේ, ඔවුන් අපරාධකරුවන් සේ සලකමිනි.
පාසල් මිතුරෙකුගේ උපන්දින සාදයකට කෝපිකාට ආරාධනා ලැබුණු විට, එම ආරාධනය ඔස්ට්‍රේලියාවේ පිහිටි කාර්යාලයකට යැවීමෙන් පසු එහි සිටින නිලධාරියෙකු අවදානම තක්සේරු කරනු ඇත.
මුරකරුවෙකු ද සමග ඇයට උපන්දින සාද කීපයකට සහභාගී වීමට අවසර දී තිබිණි.
රජය පවසන්නේ පවුල “හොඳින් රැකබලා ගන්නා” බවය. නමුත් ඔවුන්ගේ සුභසාධනය ගැන බොහෝ කලක සිට ගැටලු පැන නැගී තිබේ.
මෙල්බර්න්හි රැඳවුම් භාරයේ සිටි පළමු මාස කීපය තුළ ප්‍රියාගේ දරුවන්ට පිටත සෙල්ලම් කිරීමට අවසර ලැබුණේ සෑම දිනකම පැය භාගයක් පමණි.
හිරු එළිය ලැබීම අවම වීම හේතුවෙන් විටමින් ඩී ඌනතාවයෙන් පෙලෙන අතර එය අනෙක් සෞඛ්‍ය ගැටලුවලට හේතු විය. තර්නිකාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වී ඇති අතර ඇයගේ දත් දිරා යාමට පටන් ගත්තාය. වයස අවුරුදු දෙකේදී ඇයගේ දත් ඉවත් කිරීමට සැත්කමක් ද සිදු කෙරිණි.
ප්‍රියා දියවැඩියාව ඇතුළු නොයෙකුත් වෛද්‍ය ගැටලුවලට ගොදුරු වී තිබේ.
තම ආරක්ෂාව ගැන ද ඇය බියෙන් පසු වේ. පසුගිය වසරේදී ඇයට මධ්‍යස්ථානයේ මුරකරුවෙකුගේ අනවශ්‍ය හැසිරීමකට මුහුණ දීමට සිදු විය. දිනක් එක්තරා පුද්ගලයෙක් ඇයගේ කාමරයට පැමිණ, දොරකඩ අසලට වී, සිනාසෙමින් සිට ඇත. ඔහු බීමතින් සිටි බවක් පෙනෙන්නට තිබුණු බව ඇය පැවසීය.
“මම විශ්වාස කරනවා ඔහු මාව පොළඹවගන්න උත්සාහ කර බලන්න හෝ මගේ ශරීරය ස්පර්ශ කිරීමට හෝ ලිංගික දෙයක් සිදු කිරීමට අවශ්‍යතාවෙන් සිටිය බව. ඔහු මා කෙරෙහි හැසිරුණු ආකාරය නිසා මට ඒ ආකාරයෙන් හැඟුණා,” ඇය බීබීසී සේවයට පැවසුවාය.
“මම ඔහුව පසුපසට තල්ලු කළා. මගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ඇති වුණ නිසා මම එතනින් එළියට ගියා.”
පසුව පවුලේ අය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කළ අතර එම මුරකරුවා ඉවත් කර තිබිණි. නමුත් එයින් ඇති වූ මානසික කැළැල්වලින් ප්‍රියා තවමත් පීඩා විඳින්නීය.
“ඒ තත්ත්වයෙන් මිදෙන්න මට ඇත්තෙන්ම අපහසුයි,” ඇය පැවසුවාය.
“සෑම දවසකම මට තවදුරටත් ආරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක කාමරයේ අගුළු අරින්න පුළුවන්.”
සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සේවය නැඟූ ප්‍රශ්නවලට රජය ප්‍රතිචාර නොදැක්වීය.
“ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය මෙම පවුලේ සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කිරීමට කැපවී සිටිනවා වගේම, සෑම සාමාජිකයෙකුටම හෙදියන්, වෛද්‍යවරුන් සහ විශේෂඥයින් සඳහා සෑම විටම ප්‍රවේශය ලබා දී තිබෙනවා,” යැයි පවුලේ සුභසාධනය සම්බන්ධයෙන් පිළිතුරු දුන් ප්‍රකාශකයෙකු පැවසීය.
මේ තොරතුරු ද කියවන්න:
- අවසාන මොහොතේ පිටුවහල් කිරීමෙන් බේරුණු ශ්‍රී ලාංකික පවුල
- ගුවන් යානයක් ආපසු හැරවූ ශ්‍රී ලාංකික සරණාගත දැරියක්
- නාවුරු සරණාගතයන්: “අතිශය දරුණු” මානසික සෞඛ්‍ය අර්බුදයක
ඔස්ට්‍රේලියාවේ ‘බෝට්ටු නැවැත්වීමේ’ ප්‍රතිපත්තිය
ඔස්ට්‍රේලියාවේ දැඩි සංක්‍රමණ නීති මගින් මුරුගප්පන් පවුල වැනි “නීති විරෝධී, පුරවැසියන් නොවන” අය දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමට ඉඩ සලසයි.
බෝට්ටුවෙන් පැමිණෙන අයට “අක් වෙරළ ක්‍රියාවලියක්” රජය හඳුන්වා දීමෙන් පසු 2013 සිට සරණාගතයින් දහස් ගණනක් ප්‍රධාන භූමියෙන් බැහැර මධ්‍යස්ථානවල රඳවා ඇත. ඔවුන්ගේ සරණාගත හිමිකම් සලකා බැලෙන තුරු එම මධ්‍යස්ථානවල රැඳී සිටීමට සිදුවන අතර එය වසර ගණනාවක් ගත විය හැකි ක්‍රියාදාමයකි.
එම කඳවුරුවල අයහපත් ජීවන තත්ත්වයන් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කර තිබේ. 2013 සිට ඔස්ට්‍රේලියානු අක් වෙරළ රැඳවුමේදී සරණාගතයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් හය දෙනෙකු සියදිවි නසා ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවලින් ළඟා වීමට උත්සාහ කරන අතර මුහුදේදී මිනිසුන් මිය යාමෙන් පසු හඳුන්වා දෙන ලද මෙම ප්‍රතිපත්තිය වෙනුවෙන් රජය දිගු කලක් පෙනී සිටී.
බෝට්ටුවෙන් පැමිණෙන ඕනෑම අයෙකුට කිසිදා ඔස්ට්‍රේලියාවේ පදිංචිය හිමි නොවන ලෙස සකසා ඇති මෙම ප්‍රතිපත්තිය රජය කැපවී ආරක්ෂා කරමින් සිටින අතර, මෙමඟින් මිනිස් ජාවාරමට බාධා ඇති වී, මිනිසුන් දියේ ගිලී යාම නවතා දමා ඇති බවට තර්ක කරයි.
එය සාර්ථක වී ඇති බවක් පෙනෙන්නට තිබේ. 2014 සිට එරටට බෝට්ටු පැමිණ ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රමාණයකි.
එසේ වුව ද මුරුගප්පන් පවුල දිගටම රැඳවුම් භාරයේ තබා ඇත.
ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්ය ඇලෙක්ස් රීලි පවසන්නේ “එය ඉතා කෘරයි. නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සාමාන්‍ය අදහස්වලට මෙය පැහැදිලිවම විරුද්ධයි.”
“සිදුවන දේ විකාර සහ හාස්‍යජනක වූවත්, ඔස්ට්‍රේලියානු රජය ඔවුන්ගේ තුවක්කුවලට ඇලී සිටින්නේ එය දේශපාලනික වශයෙන් හොඳින් ක්‍රියාත්මක වන බව ඔවුන් සිතන නිසායි.”
“ඔබ ඔවුන්ගේ නඩුව මානුෂීය ඇසකින් බැලුවහොත් කිසිවෙකුට එය පිළිගන්න බැහැ.”
අනුකම්පාව සඳහා ආයාචනය
මුරුගප්පන් පවුලේ නිදහස් කිරීමට සහය දැක්වීම සඳහා මානව හිමිකම් උපදේශකයින් සහ බිලෝලා ප්‍රජාවට එරට විපක්ෂය ද එක්ව සිටිති.
හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු තවත් අය මෙම පවුල නැවත බිලෝලා වෙත කැඳවන ලෙස ඉල්ලා තිබේ. ඔවුන් මුලින්ම රඳවාගෙන සිටියේ මැල්කම් ටර්න්බුල්ගේ රජය පැවති සමයේය.
එහෙත් අලුතින් පත් කළ ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෘස් මෙම ඉල්ලීම්වලට විරුද්ධ වී තිබේ.
“මම ඉතා අධිෂ්ඨානයෙන් සිටින්නේ අපගේ ප්‍රතිපත්තියේ වෙනසක් ඇති බව මිනිස් ජාවාරම්කරුවන් තත්පරයක්වත් නොසිතන බවට වග බලා ගැනීමටයි. මම ඒ දොර සෙමින් හෝ විවෘත කරන්නේ නැහැ” යැයි ඇය අප්‍රේල් මසදී ස්කයි නිව්ස් ඕස්ට්‍රේලියා (Sky News Australia) වෙත පැවසුවාය.
ඊළඟ පරිච්ඡේදය
මුරුගප්පන් පවුලේ සරණාගත ඉල්ලුම් පත්‍රය අධිකරණය නැවතත් සමාලෝචනය කරමින් සිටියි. රජය අවස්ථා කීපයකදීම ඔවුන්ගේ ඉල්ලීම් අවලංගු යැයි තීන්දු කර තිබේ.
“කිසිම අවස්ථාවක පවුලේ කිසිදු සාමාජිකයෙක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂණ බැඳීම් සපුරා ඇති බවක් සොයාගෙන නැහැ,” ප්‍රකාශකයෙක් පැවසීය.
කෙසේ වෙතත්, පවුලේ අය පවසන්නේ ඔවුන් ශ්‍රී ලංකාවට යවනු ලැබුවහොත් ඔවුන්ට පීඩා විඳීමට සිදුවනු ඇති බවය. මෙයට ලැබුණු මාධ්‍ය අවධානය හේතුවෙන් අවදානම වැඩි වී ඇති බව ඔවුහු පවසති.
ගැහැණු දරුවන්ට ශ්‍රී ලංකාවට කිසිදු සම්බන්ධයක් නොමැත. ඔස්ට්‍රේලියාවේ ඉපිද හැදී වැඩුණු ඔවුන්ට “අනවසර ලෙස මුහුදින් පැමිණි” පුද්ගලයින්ගේ දරුවන් ලෙස ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ද ලබා ගත නොහැකිය.
නඩුව අධිකරණය ඉදිරියේ ඇතැයි පවසමින් මේ පිළිබඳ අදහස් දැක්වීම අමාත්‍ය කැරන් ඇන්ඩෘස් ප්‍රතික්ෂේප කළාය. නමුත් පසුගිය සතියේ ඇය ඉඟි කළේ රජය මෙම පවුල රැඳවුම් කඳවුරෙන් ඉවත් කර දිවයිනේ පිහිටි ඔවුන්ගේම නිවෙසකට ගෙන යාමට කටයුතු සලසනු ඇති බවය.
පවුලේ නීතිඥවරිය වන කැරීනා ෆෝඩ් පවසන්නේ රජයට අවශ්‍ය නම් ඔවුන්ගේ දුක් වේදනා “හෙට අවසන්” කළ හැකි බවය.
වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට සහ පිටුවහල් කිරීම් නැවැත්වීමෙන් ජනතාවගේ ජීවිතවලට මැදිහත් වීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට අසාමාන්‍ය බලයක් ඇත. මුරුගප්පන් පවුල නිදහස් කර ගැනීම සඳහා එම බලය යොදා ගන්නා ලෙස ක්‍රියාකාරීහු දිගු කලක් තිස්සේ ඉල්ලා සිටිති.
“මෙය ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ දරුවන් වසර ගණනාවක් රැඳවුම් භාරයේ තබා ගැනීම සහ… ඔවුන්ව සැබවින්ම අවශ්‍ය ප්‍රජාවකට සෑහෙන ඈතින් ඔවුන් තබා ගැනීම සම්බන්ධ නඩුවක්” යනුවෙන් ව්‍යවස්ථා සම්බන්ධයෙන් නීතිඥ ආචාර්ය සංගීතා පිල්ලෙයි පැවසීය.
“මීට වඩා බලවත් නඩුවක් ගැන සිතීම දුෂ්කරයි.”
මේ සඳහා අවශ්‍ය වන්නේ සුළු අනුකම්පාවක් යැයි පවුලේ මිතුරියක වන ෆ්‍රෙඩ්රික්ස් පැවසීය.
“ඔක්කොම ඇමතිවරුන්ට කළ යුතුව ඇත්තේ එය අත්සන් කිරීම පමණයි. එක් පෑන් පහරකින් තමන්ට ආදරය කරන ප්‍රජාව කරා නැවත ඔවුන්ට පැමිණිය හැකියි.”