Friday, September 20, 2024

වහාම කල් ඉකුත් නොවූ රසායනික පොහොර ගේන්න – එ. ජා. ප. සභාපති වජිර අබේවර්ධන

රටට නයිට්‍රිජන් සහ පොස්ෆේට් ගෙන්වීමෙන් ඵලක් නොමැති බවත් වහාම කල් ඉකුත් නොවූ රසායනික පොහොර ගෙන්වීමට රජය පියවර ගත යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ගාල්ල  දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ආණ්ඩුව රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමට එරෙහිව මතුව ඇති විරෝධතා හමුවේ නයිට්‍රිජන් හා පොස්ෆේට් පොහොර ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු නැගුව ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

නයිට්‍රජන් සහ පොස්ට්ෆේට් ගෙනල්ල හරියන්නෙ නැහැ. අපට කියන්න තියෙන්නේ වහාම රසායනික පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කළ යුතු බවයි. රසායනික පොහොර ගෙන්වීමේදී අනුගමනය කළ යුතු කාරණයක් තිබෙනවා. කල් ඉකුත් වූ ‍පොහොර ගෙන්වීමේ ක්‍රියාදාමය නැවැත්විය යුතුයි. දේශපාලඥයන් ආණ්ඩු පිහිටුවීම සඳහා රුපියල් 350 ට පොහොර දීමේ ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුයි. ඒ වගේම දේශපාලඥයන් නොමිලේ පොහොර දෙන බව කියන සටන් පාඨත් තහනම් කළ යුතුයි. මෙවැනි පොරොන්දු නිසා තමයි ගොවියන්ට වස ලැබෙන්නේ. ඇයි ? නොමිලේ පොහොර ලබාදීමට නම් ලෝකයේ කල් ඉකුත් වූ පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නවා. ඒ අනුව වස ගෙන්වනවා.

මම දැක්කා පුවත්පතක තිබෙනවා ජපානයෙන් කාබනික පොහොර තාක්ෂණය පිළිබඳ උපදෙස් ලබා ගන්නවා කියලා. මං බලාපොරොත්තු වෙනවා හෙට කියන්න ජපානයේ අවුරුද්දකට මෙට්‍රික් ටොන්  මිලියන කීයක් රසායනික පොහොර භාවිතා කරනවද කියලා. ඉරානයේ නම් යම් ප්‍රමාණයකට රසායනික පොහොර භාවිතය අඩු කර තිබෙනවා.

ලෝකයේ රටවල් මෙට්‍රික් ටොන් ට්‍රිලියන ගණනක් රසායනික පොහොර භාවිතා කරනවා. ඒ අනුව ක්‍රියා කළ යුතුයි. ආණ්ඩුවට ඕන ඒවා කරන්න බැහැ. මතක තබා ගත යුතු කාරණය තමයි ලෝක ආහාර සංවිධානයට ගැලපෙන පරිදි අප වැඩ කළ යුතුයි. ලෝක ආහාර සංවිධානයේ වගකීම තමයි ලෝකයේ සාගින්නෙන් මහජනයා මැරෙන්න ඉඩ නොදී, වැඩි වෙන ජනගහනයට ප්‍රමාණවත් පරිදි ආහාර නිෂ්පාදනය සිදුකිරීම.

දැනට අවුරුදු 40 කට ඉහතදි ලෝක ආහාර සංවිධානය  තීරණය කළා ලෝකයේ වැඩි වන ජනගහනයට අවශ්‍ය කරන ආහාර සැපයීම සඳහා ඊට ගැළපෙන අකාරයට වගාවන් වෙනස් කිරීමට. ඒ අනුව එදා පැවැති ඇට තේ ගස් වෙනුවට රිකිළි තේ පටන් ගත්තා. මහා රබර් ගස් වෙනුවට බට් රබර් පටන් ගත්තා. මහා විශාල අඹ ගස් වෙනුවට බට් අඹ පටන් ගත්තා. එතකොට ක්‍රම දෙකයි ලෝක ආහාර සංවිධානයේ තිබෙන්නේ. එකක් පොස්ට්‍‍‍ෆේට්, නයිට්‍රජන් හා සල්ෆියුරික් සාන්ද්‍රණය වැඩි දියුණු කර අස්වැන්න වැඩි කිරීම. දෙවන ක්‍රමය තමයි ශාක වර්ග වල ජාන වෙනස් කර නිෂ්පාදනය කිරීම. ඉස්සර තිබුණේ උස ගොයම් ගස්, දැන් තිබෙන්නෙ අඟල් 8 ත් 10 ත් අතර උස ගොයම් ගස්. එතකොට නිෂ්පාදනය වැඩි කිරීමේ ක්‍රියාවලිය හරහා තමයි ක්‍රියා කරන්න තිබෙන්නේ. මේ අරන් තිබෙන තීන්දුවෙන් කරලා තිබෙන හානිය වසර 5 කට ආපස්සට හරවන්න බැහැ. තේ ගස් ආපහු කප්පාදු කරලා නැවත යථාතත්ත්වයට පත් කරලා දලු කඩන තැනට පත් කරන්න අවුරුදු එකහමාරක් දෙකක් ගත වෙනවා. ඒ නිසා මේ අවාසනාවන්ත නොදන්න දේවල් වලට අතනොගහා කරුණාකරලා රජය තමන්ගේ අභිමානය පැත්තකින් තියලා වහාම තත්ත්වයෙන් ඉහළ රසායනික ‍පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කළ යුතුයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles