Tuesday, October 22, 2024

ව්‍යවස්ථාවට වඩා රටේ ප්‍රශ්න තියෙනවා ව්‍යවස්ථා යෝජනා ඉවත් කරගන්න

ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත් මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව තාවකාලිකව ඉවත් කර ගන්නා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ ඉල්ලීමක් කරයි.

කෝට්ටේ කල්‍යානී සාමාග්‍රික ධර්ම මහා සංඝසභාවේ විශේෂ කාරක සංඝසභාව රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

මේ අවස්ථාවේ ව්‍යවස්ථාවක් සෑදීමට වඩා රටේ වෙනත් ප්‍රශ්න තිබෙන බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි තම සංඝ සභාව තීන්දු කළ බවත් ඒ හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේද පැවසී ය.

“කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි සංඝ සභාව රැස්වී ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කළා. මෙහි ඇති සමහර දේවල් ගැන අපි පොදුවේ ප්‍රකාශයක් කරනවා. අපේ සංඝ සභාව ඒකමතිකව තමයි දැනට ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පත ඉවත් කළ යුතුයි කියන්නේ.

මහා නායක හිමියනුත් අපේ ඒකමතික තීරණයට අනුමැතිය දෙනවා. සංඝ සභාවේ තීරණයක්. අපිට දේශපාලනයක් නෑ. රට පිළිබඳ ප්‍රශ්නයක් ආවාම අපේ මතය මීට පෙරත් ප්‍රකාශ කර තිබෙනවා. අපි පැහැදිලිවම කියනවා මේක කෙටුම්පතක්වත් පනතක්වත් නොවන බව දන්නවා. නමුත් කෙටුම්පතක් හදන්න යෝජනා මාලාවක් මේ තියෙන්නේ. හදන්න ඉස්සරවෙලා අපේ අදහස් පළ කළේ ඒවා ප්‍රයෝජනයට ගන්න. මේ වෙලාවේ ව්‍යවස්ථාවක් අලුතින් හදන්න යන එක කාලෝචිත නෑ.

උතුරු නැගෙනහිර පළාත්වල සිටින ජනතාවට තිබෙන ප්‍රශ්න ගැටලු වෙනම අප විසඳිය යුතුයි. ඒක කවුරු බලයේ හිටියත් කළ යුතුයි. ඒක ව්‍යවස්ථාවේ වාක්‍ය දෙක තුනකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ප්‍රශ්න විසඳන්න කියලා ව්‍යවස්ථාවක් හදන්න ගියොත් තව ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. රටේ තව කොතෙකුත් ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳන්න කටයුතු කළ යුතුයි. ව්‍යවස්ථාවේ අඩු පාඩු තිබෙනවානම් ඒවා හදාගත යුතුයි.‘‘ යැයි ද උන්වහන්සේ කීහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles