Monday, October 28, 2024

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාවට යෑමට උත්සහ කළ තරුණියක්

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් කැනඩාව වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් ගුවන් තොටුපළ ආගමන විගමන බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් ව්‍යාජ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඩුබායි හරහා කැනඩාව වෙත පැනයෑමට උත්සහ කර ඇති බව අද දෙරණ ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසීය.

ඇය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් විසින් අදාළ බලපත්‍රය වැඩිදුර විමර්ශනය සහා ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයට භාරදී තිබුණි.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්වලදී ඇය ඉදිරිපත් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රය, වෙනත් අයෙකු සතු එකක් බව සහ එම ගුවන් ගමන් බලපත්‍රයට මෙම තරුණියගේ ජායාරූපය යොදා කූඨ ලෙස සකස් කර ඇති බව අනාවරණය වී තිබේ.

ගුවන් ගමන් බලපත්‍රයෙහි යොදා තිබූ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු මුද්‍රා, ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී ඇති බවද අප වාර්තාකරු සඳහන් කළේය.

පසුව එම තරුණියව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles