Sunday, September 22, 2024

ව්‍යාපාර පහසු කිරීමේ සංසදය අද රැස් වෙති

පෞද්ගලික අංශයට තම ව්‍යාපාර කරගෙන යෑමේදී මුහුණපාන ගැටලුවලට විසඳුම් ලබාදීමට මුදල් අමාත්‍යංශය විසින් ආරම්භ කළ “ව්‍යාපාර කටයුතු පහසු කිරීමේ සංසදයේ” නව වැනි සැසිවාරය අද (01) කොළඹ මිලෝදා ආයතනයේදී පැවැත්වේ.

රජයේ දැඩි ප්‍රතිපත්ති පෞද්ගලික ව්‍යවසායන්ට හා ව්‍යාපාරයන්ට තම කටයුතුවලදී බාධාවන් නිර්මාණය කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇති බව හැඳින ගත් රජය, ඒවා මඟහැරවීමට නව වැඩපිළිවෙළ ඉකුත් වසරේ මැයි මාසයේ 14 වැනිදා ආරම්භ කොට තිබේ. එදා පටන් අද දක්වා ව්‍යාපාර පහසු කිරීමේ සංසදය, පෞද්ගලික අංශයට ව්‍යාපාර කරගෙන යෑමේදී මුහුණදීමට සිදුවන ගැටලු සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය හා පෞද්ගලික අංශ අතර සම්බන්ධිකාරකය වශයෙන් සැසිවාර නවයක් පවත්වා තිබේ.

පෞද්ගලික අංශයට තම ව්‍යාපාර පවත්වාගෙන යෑමේදී මතුවන ගැටලු අතර, බදු සම්බන්ධ ගැටලු, බලපත්‍ර ලබාගැනීම්, ලියාපදිංචි කිරීම්, සහනදායි බලපත්‍ර ලබාගැනීම් ආදී ගැටලු, වරාය හා රේගුවේදී ආනයනික භාණ්ඩ නිදහස් කර ගැනීමේ හා අපනයනික භාණ්ඩ නැව්ගත කිරීමේදී මුහුණපාන්නට වන ගැටලු ප්‍රධාන තැනක් ගනියි.

මේ ගැටලු මනාව හඳුනාගත් මුදල් අමාත්‍යංශයේ ව්‍යාපාර පහසු කිරීමේ සංසදය, ඒවා වැළැක්වීමටත්, පෞද්ගලික ව්‍යාපාරිකයින් හා දෙස් විදෙස් නව ආයෝජකයෝ දිරිමත් කිරීමටත් මේ දක්වා විශාල උනන්දුවකින් කටයුතු කොට ඇතැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා “දිනමිණ කප්රුක” වෙත ප්‍රකාශ කළේය.

වසර 2015 මැයි 14 වැනිදා පටන් අද පවත්වන නව වැනි සැසිය දක්වා රජයේ විවිධ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන 75 කට වඩා ප්‍රමාණයක අමාත්‍යවරු, අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු ඒවායේ උසස් නිලධාරිහු කැඳවා ඔවුන් සමඟ මෙරට ව්‍යාපාරික ප්‍රජාවට තම ගැටලු විසඳා ගැනීමට වේදිකාවක් නිර්මාණය කර දී ඇතැයිද ඇමැතිවරයා කීය.

මෙම ව්‍යාපාර පහසු කිරීමේ සංසදය වෙත පෞද්ගලික අංශයෙන් යොමු කෙරුණු ප්‍රශ්න හා ගැටලු 350 – 400 ප්‍රමාණය අතුරින් මේ වනවිට සියයට 80කට විසඳුම් ලබාදී ඇතැයි මුදල් ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කෙළේය.

මේ රටේ මුදල් ආයෝජනය කිරීමට පැමිණෙන දෙස්, විදෙස් ආයෝජකයෝ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයෝ මුහුණදෙන ගැටලුවලටද මේ මඟින් විසඳුම් ලබාදී තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයකුට මුහුණපෑමට වන නව ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, බදු ලිපි ගොනුවක් විවෘත කර ගැනීම, පරිසර වාර්තාවක් ලබාගැනීම, ගොඩනැගිලි සැලසුමක් අනුමත කර ගැනීම, ජලය, විදුලිය, මාර්ග පහසුකම් ලබාගැනීම, රේගුවේදී මතුවන ගැටලු, නිෂ්පාදන නැව් ගත කිරීමේදී මතුවන ගැටලු, බැංකු සේවා ලබාගැනීමේදී, රජයේ හිඟ ගෙවීම් ලබාගැනීමේදී ඇතිවන දුෂ්කරතා ආදී ප්‍රශ්න ගොන්නකට මේ සංසදය විසඳුම් ලබා දී ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා විස්තර කළේය.

මෙම සංසදයේ සේවා ලබා ගැනීමට මුදල් අමාත්‍යංශයේ නව වෙබ් අඩවියක් නිර්මාණය කොට එළිදැක් වූ බවත්, ඊට ව්‍යාපාරික ප්‍රජාව තම ගැටලු ඉදිරිපත් කොට විසඳුම් ලබාගැනීමට උනන්දුවක් දක්වන බවත් මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා සඳහන් කළේය.

වෙබ් අඩවිය හරහා යොමුකරනු ලබන පැමිණිලි හෝ අදහස් විමසීම් පරිපාලනය හා අධීක්ෂණය මෙම සංසදය මඟින් සිදුකරනු ලබන අතර, අදාළ ගැටලු විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් ද රජයේ ආයතන හා සම්බන්ධ වෙමින් ගනු ලබන බවද ලේකම්වරයා කීය. මේ වනවිට මෙම සංසදය හා ලියාපදිංචි වී ඇති 75කට අධික බො‍හෝමයක් රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට හා පොදු මහජනතාවට වඩා කාර්යක්ෂම සේවාවක් සැපැයීම සඳහා තම ආයතනය තුළ මහජන සම්බන්ධතා කාර්යාල ස්ථාපිත කොට ඇතැයි මේ සංසදයේ ප්‍රධානී දිමුතු සමරතුංග මහත්මිය පැහැදිලි කළාය.

වසර 2015 මැයි සිට සංසදය වෙත යොමු කරන ලද 350 – 400 ක් පමණ වූ විවිධාකාරයේ ගැටලුවලින් සියයට 80ක් පමණ නිරාකරණය කර දී ඇත. ඉතිරි වී ඇති ගැටලු විවිධ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් අදාළ වන අතර, ඒවා විසඳීම සඳහා ක්‍රමෝපායික තීරණ පනත් සංශෝධන, අමාත්‍ය මණ්ඩල අනුමැතිය, ගැසට් නිවේදන ආදී නොයෙකුත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයිද මේ සංසදයේ ප්‍රධානී දිමුතු සමරතුංග මහත්මිය සඳහන් කළාය.

එම ගැටලු විසඳීම සඳහා මේ වනවිටත් රජය පාර්ශ්වයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවැසීය.

මෙම සංසදය වෙත ලැබුණු ගැටලු විශ්ලේෂණය කර බැලීමේදී බහුතරයක්ම ගැටලු පාදක වී ඇත්තේ බදු සම්බන්ධ කාරණා මත බවත්, දෙවැනියට බලපත්‍ර ලබාදීම, ලියාපදිංචිය හා සහනදායි බලපත්‍ර සම්බන්ධ ගැටලු ඇති බවත් ආටිගල මහතා පැහැදිලි කළේය.

කෙසේ නමුත්! ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු හා මෙරටේ ව්‍යාපාරික ප්‍රජාව, විදේශීය ආයෝජකයෝ හමුවූ බොහෝ අවස්ථාවලදී රටේ නව ආයෝජන සිදුකිරීමට ‍බාධාකාරී වන මේ තත්ත්වයන් ගැන පැමිණිලි කොට තිබේ. එම පැමිණිලිත් ලෝක බැංකුව විසින් සෑම වසරකම සැප්තැම්බර් මස එළිදක්වන ව්‍යාපාර පහසුකිරීමේ දර්ශකයේත්, අනෙකුත් සමීක්ෂණයන්වල ප්‍රතිඵලත් සැලකිල්ලට ගත් රජය ඒවා දුරුකිරීමේ උදාර අරමුණින් නව සංසදය ආරම්භ කොට ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව රටවල් 189 කින්, ව්‍යාපාර පහසුකිරීමේ දර්ශකයෙන් වසර 2016 දී 107 වැනි තැනට ශ්‍රේණිගත වී තිබේ. ලෝක බැංකුව විසින් සකස් කරන මේ දර්ශකයේ ශ්‍රී ලංකාව වසර 2014 සිටියේ 113 වැනි තැනය. මේ වනවිට ශ්‍රී ලංකාව එම ස්ථානයෙන් මිදී ස්ථාන 06ක් ඉදිරියට පැමිණ තිබීම ජයග්‍රහණයකි. සතුටට කරුණකි.

ශ්‍රී ලංකාව මේ දර්ශකයට අනුව දකුණු ආසියානු කලාපීය රටවල් වාර්තා කළ සාමාන්‍ය තත්ත්වයන්ට වඩා ඉදිරියෙන් සිටින අතර සිය තරගකරුවන් වන වියට්නාමය, පිලිපීනය සහ මැලේසියාව සහ ගිනිකොණ දිග ආසියානු රටවල් හා සැසඳීමේදී පසුපසින් සිටින බව කිව යුතුය.

ව්‍යාපාර කටයුතු පහසු කිරීමේ දර්ශකය යටතේ රටේ ව්‍යාපාරික පරිසරය පෙන්නුම් කරන අතර, ඒමඟින් නවීන පහසුකම් නොමැතිකම, යල්පැන ගිය කම්කරු නීති සහ නොයෙකුත් අංශවල දක්ෂතා නොපෙන්වා ඇති බව ද පෙනී යයි. මේ පසුබිම තුළ දීප්තිමත් හා ගතික විදේශ ආයෝජන වැඩිපුර ලබාගත හැකි ලෙස අවශ්‍ය නීති රීති, අණ පනත් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ ආකල්පමය වෙනසකටද රට යොමුවිය යුතුයි. එසේ වඩාත් ව්‍යාපාරික හිතකර පරිසරයක් රටේ ඇතිවීම යනු දුප්පත්කම, විරැකියාව දුරුවීමය. පොදු ජනතාවගේ ආදායම් ලැබීම්, ජීවන තත්ත්වය ඉහළ යෑමයි. මේ බව අප සියලුදෙනා මනාව තේරුම්ගෙන වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මහන්සි වී වැඩ කළ යුතුව තිබේ. රටේත්, පොදු ජනතාවගේත් සෞභාග්‍ය, ඉහළ සුරක්ෂිතතාවය හා මතු පරපුරේ අභිමානය රැකගැනීම උදෙසා අද දවසේ වැඩි වැඩියෙන් වැඩ කළ යුතුය. ව්‍යාපාර පහසු කිරීමේ සංසදය රටට ලබාදෙන පණිවුඩය එයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles