Tuesday, September 24, 2024

වාද්දූව පොලීසියට වෙනම නීතියක්ද ?

ලංකාවේ අපකීර්තිමත්ම ආයතන අතුරින් පොලීසිය සිටින්නේ සියල්ලට ඉදිරියෙනි. අල්ලස්, දූෂණ සහ මානව හිමිකම් කඩකිරීම් පොලිස් කෙරුවාව තුළ සුලභය. ඒ අතුරිනුත් වාද්දූව පොලිසිය පිළිබඳව මීට පෙරද සිදුවීම් වාර්තා වී තිබේ. පසුගිය 01 වනදා ද නිල ඇඳුමේ රස්නය ඉවසා ගන්නට නොහැකිවූ වාද්දුව පොලිසියේ පිරිසක් විසින් තරුණයින් දෙදෙනෙකුට අමානුශික ලෙස පහර දී වධහිංසා කර තිබිණි. මේ සටහන ඒ පිළිබඳවය.
K.D. තීක්ෂණ මධුශංක පසුගිය 01 වනදා වාද්දුව පොලීසිය වෙත යන්නේ සිය 62 හැවිරිදි පියාව යම් සිදුවීමක් සම්බන්ධව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බවට ලැබුණු පණිවිඩයක් අනුවය. ඔහු ඒ යන අතර මඟදී සිය බාල සොයුරු K.D. කාවින්ද ශ්‍රීනාත්ට ද සිද්ධිය පවසා පොලීසිය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත. මුලින් පොලීසිය වෙත පැමිණි කාවින්දට පොලිස් කූඩුවේ සිටි පියාව බැලීමට අවසර දී නොමැති වාද්දුව පොලිස් නිලධාරීන් ඔහුට අපහාස කර බෙල්ලෙන් අල්ලා ඉවතට තල්ලු කර ඇත. මඳ වේලාවකින් තීක්ෂණද එතැනට පැමිණීමෙන් අනතුරුව දෙදෙනාම එක්ව යළි ගොස් සිය පියාව බැලීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබේ.
එහිදී මුලින් කාවින්දව බෙල්ලෙන් අල්ලා තල්ලු කළ නිලධාරීන්ම “මූට නම් කීයටවත් බලන්න දෙන්නෙ නෑ” කියමින් කතාව පටන් ගෙන ඇති අතර එය බහින්බස් වීමක් දක්වා වර්ධනය වීමේදී පොලීසිය තීක්ෂණට සහ කාවින්දට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහර දීමට තර්ජනය කර ඇත. ඒ මොහොතේ පොලීසියෙන් පිටවීමට තීරණය කළ තීක්ෂණ සහ සොහොයුරා පොලීසියේ ගේට්ටුව දක්වා ඇවිද ගෙන එද්දී “එහෙම යන්න දෙන්න බෑ” කියමින් පැමිණි පොලිස් පිරිස තීක්ෂණව සහ කාවින්දව පොලීසිය තුළට ඇදගෙන ගොස් ඇත.
පොලීසියේ කාමරයකට ඔවුන් දෙදෙනාව ගෙනගිය නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසීගත් 6 දෙනෙකුගේ පිරිසක් ඉන් පසුව ඔවුන්ට අමානුශික ලෙස පහරදී ඇත. අතින් පයින්, තුවක්කු බඳෙන් සහ පොල්ලකින් ඔවුන්ට පහර දී ඇති අතර ඔවුන් පවසන ආකාරයට ඒ, 39144 – මුණසිංහ, 49556 සොයිසා, 1803 – නම නොදනී, එස්. අයි. පෙරේරා සහ තවත් දෙදෙනෙකු විසිනි. දරුණු ලෙස පහර දීමෙන් අනතුරුව කාවින්දව රඳවාගෙන තීක්ෂණව නිදහස් කර ඇත්තේ හමුදා සෙබළෙකු වන කාවින්දගේ ‘නිවාඩු අනුමැතිය’ පොලිසියට රැගෙන එන ලෙස දන්වමිනි. නිවාඩු අනුමැතිය රැගෙන පැමිණි තීක්ෂණගේ හෙල්මට් එක පොලිස් නිලධාරියකු විසින් රැගෙන ඇත්තේ “මේකෙන් ගහන්න ආවා කියලා දාන්නම්” යැයි කියමිනි.
02 වනදා උසාවියට ඉදිරිපත් කෙරුණු තීක්ෂණ සහ කාවින්ද ඇප මත නිදහස් කෙරුණු අතර ඔවුහු පහර දීමෙන් ලද තුවාල නිසා රෝහල් ගත වූහ. පහර දී කූඩුවේ දැමූ කාවින්දට උසාවි ගෙන යන තුරුම පැනඩෝල් පෙත්තක් හෝ ලැබී නොතිබිණි. තීක්ෂණ එදිනම රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගියද කාවින්ද තවමත් සිටින්නේ රෝහල්ගතවය.
විවිධ චෝදනා මත මිනිසුන් අත් අඩංගුවට ගැනීම එදිනෙදා ක්‍රියාදාමයකි. ඒවාට අදාල නීතිද තිබේ. එහෙත් නිරපරාදේ මිනිසුන්ට පහර දීමට බලයක් කිසිදු නීතියකින් පොලීසියට හෝ වෙනත් අයකුට හිමිවී නොමැත. ලංකාවේ පොලීසියට නිල ඇඳුම ලාගත් සැණින් අමතක වන්නේද මෙයයි. බොහෝ පොලිස්කාරයින් සිතා සිටින්නේ නිල ඇඳුම යනු මිනිසුන් තළා පෙළිමට සහ නොයෙකුත් වරදානයන් ලබාගැනීමට තමන්ට හිමිවුණු දේවවරමක් ලෙසය. බොරු චෝදනා පැළකිරීම එවන් පොලිස්කරුවන්ගේ සිරිතයි. මීට මෑත කාලීන හොඳම උදාහරණය වන්නේ සේයා දැරිය දූෂණය කර මරා දැමීමේ සිදුවීමයි. එහිදී පොලීසිය විසින් පාසල් සිසුවෙක් සහ දුනේශ් නම් තරුණයෙක් ඊට සම්බන්ධ බවට චෝදනා කර මාධ්‍යයටද තොරතුරු දුන් අතර දුනේශ්ට පහරදී ලබාගත් පාපොච්චාරණයක්ද මාධ්‍යට ඉදිරිපත් කළේය. නමුත් ඩී. එන්. ඒ.සාක්ෂි පිරික්සීමේදී හෙළිදරව් වූයේ ඔවුන් නිදොස් බවය. ඉන් නොනැවතුණු පොලීසිය පෙරකී පාසැල් සිසුවාට නැවත මත්ද්‍රව්‍ය චෝදනාවක්ද බොරුවට එල්ල කර තිබිණි. පොලීසියේ නීතිය රකින නිලධාරීන් අතර හිඳිනා යුනිෆෝම් චණ්ඩින්ගේ ස්වභාවය එබඳුය. නීතිය හා සාමය පවත්වා ගැනීමට නම් නීතිය කෙරෙහි ජනතාවගේ විස්වාසය රැකිය යුතුය. එසේ විස්වාසය රැකෙන්නට නම් නීතිය අපහරණය කරනා නිල ඇඳුම් ධාරීන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයක් සමාජයක පැවතීමට නම් පොලීසියේ සීමාව සහ දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ අධිකරණයට පමනක් බව ජනතාවද දැනගෙන සිටිය යුතුය. එසේම අධිකරණයටත් නැති පහරදීමේ බලයක් පොලීසිය පාවිච්චි කිරීමෙන් අධිකරණයට වන හෑල්ලු කිරීම පිළිබඳව අධිකරණයද දැනුවත් විය යුතුය.
මේ පිළිබඳව විමසීම සඳහා වාද්දූව පොලීසියට සහ වාද්දූව පොලීසියේ ස්ථානාධිපතිවරයාට අප දුරකථනයෙන් ඇමතූ නමුත් ඔවුන් සම්බන්ධ කරගැනීමේ අවස්ථාවක් නොලැබුණි.  උපුටා ගැනීම -ලංකා නිව්ස් වෙබ්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles