Thursday, January 9, 2025

වාහන ආනයනය පිළිබඳව තීරණයක්

රට තුළ වසර දෙකකට පමණ ප්‍රමාණවත් වාහන තොග තිබුණු බවත් මේ වනවිට තහනම් කරඇති වාහන ආනයනය පිළිබඳව තීරණයක් ගැනීමට මෙම වසර අවසානයේ දී සලකාබලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෝටර් රථ ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකය පිළිතුරු දෙමින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කිරීමට රජයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවූ බවත් ඒ අනුව තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක් මත පසුගිය මාර්තු මාසයේ සිට ආනයන සීමා පැනවීමට රජය කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ යටතේ මෝටර් රථ ආනයනය ද සීමා කරන්න සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා රටතුළ අවුරුදු දෙකකට පමණ ප්‍රමාණවත් වාහන තිබූ බැවින් එම තීරණය ගත් බවද සඳහන් කළේය. 

“මේ වාහන අපේ රටේ තියෙන නිසා අපට පුළුවන් වුණා වාහන අලුතෙන් ආනයනය නොකිරීමට, ඒ තහනම දිගටම පවත්වා ගෙන යන්නට.”

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ මේ වසර අවසන් වන විට සලකාබලා තීරණයක් ගන්නා බවත් මෙම ආනයන සීමා තාවකාලික පදනම මත පනවා ඇති බැවින් ඉදිරියේ දී විනිමය අනුපාතය ස්ථාවරත්වය මත එම සීමා ලිහිල් කිරීමට රජය කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles