Saturday, September 21, 2024

වැරදි නියෝග නිසා වලානේ බළකාය අඩපණ වෙයි

ඉහළ නිලධාරියෙකුගෙන් දිගින් දිගටම වැරදි නියෝග ලැබිම හේතුවෙන් කලකිරීමට පත්ව සිටින වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට එම බළකායේ තවදුරටත් සේවයේ නිරතවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මේ වන විට එම බළකායේ අධ්‍යක්ෂවරයාව සිටි ‍පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ මහතා ස්ථාන මාරුවීමක් ලබාගෙන නව ‍පොලිස් ඒකකයක් වන සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වී තිබේ.
එම ස්ථාන මාරුවීම ඔහුට ලැබිමට පෙර ඉහළ නිලධාරියෙක් ඔහු අලසව සේවයේ නිරත වන බවට ලිඛිත චෝදනාවක් එල්ල කර ඇති බව සඳහන්ය. ඊට ඔහු පිළිතුරු ලිඛිතවම ලබාදී ඇත්තේ තමන් අලස බවට වූ චෝදනාව එල්ල කරන්නේ ලබාදෙන වැරදි නියෝග ක්‍රියාත්මක නොකරන නිසා බව ඔබත් මමත් හොඳාකාරවම දන්නා බව කියමිනි. තමා ඉතිහාසයේ වැරදි නියෝග ක්‍රියාත්මක කර නැති බවත් වර්තමානයේ සේම අනාගතයේත් එවන් වැරදි නියෝග ක්‍රියාත්මක නොකරන බවත් ඔහු එම ලිපියේ සටහන් තබා ඇති බව ‍පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය. එම වැරදි නියෝග ක්‍රියාත්මක කරන්නැයි කිසිවිටකත් තමන් යටතේ සිටින නිලධාරීන්ට නියෝග නොකරන බවද එහි පැහැදිලිවම සටහන් කර ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. එම නීති විරෝධී ක්‍රියා මොනවාදැයි එම ලිපියේ වෙන් වෙන්ව සඳහන්ව නැති බවද ‍පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අතර වලානේ මධ්‍යම දූෂණ මර්දන බළකායේ සේවයේ නිරතව සිටි දක්ෂ නිලධාරියෙක් බව සඳහන් උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් වන ජනිත්ද ස්ථාන මාරුවීමක් ලබාගෙන බණ්ඩාරවෙල ‍පොලිස් කොට්ඨාසයේ සේවයට ගොස් ඇති බවද ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මධ්‍යම දූෂණ මර්දන බළකාය විසින් නීති විරෝධී පුද්ගලයන් රඳවාගත් බවට හෝ ගංජා, මත්කුඩු, නීතිවිරෝධී මත්පැන් නොමැතිව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන්ට අතින් ඒවා දමා සිරගත කළ බවට හෝ සැකකරුවන්ට පහර දෙමින් හිරිහැර කළ බවට හෝ අල්ලස් ලබාගත් බවට හෝ පුද්ගලික පළිගැනීම හෝ කර ඇති බවට මතෛක් කලක් චෝදනාවට ලක් නොවූ ‍පොලිස් ඒකකයක් බව ‍පොලීසියේ ඉහළ නිලධාරීන් රැසක්ම සඳහන් කළේය.
මෙම ‍පොලිස් ඒකකය ස්ථාපිත කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරියව සිටියදී ඇගේ උපදෙස් අනුව එවකට සිටි ‍පොලිස්පති ලකී කොඩිතුවක්කු මහතා විසින් බවද එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles