නූතන තරුණ පරපුර නොමඟ යන බව කියන්නේ නම් එහි වැඩි වගකීමක් ගත යුත්තේ ඔවුන්ගේ වැඩිහිටියන් ය. වත්මනෙහි ඇතැම් මව්පියන් තම දරුවන්ට අවවාද අනුශාසනා දීමට සුදුසු මට්ටමක නැත. කකුළුවා ඇදයට යමින් පැටියන්ට කෙළින් යෑමට කීමෙන් ඇති ඵලය කුමක් දැයි විමසිය යුතුය. පැටියන් ද උත්සාහ කරන්නේ මහ කකුළුවා ගිය පාරේ යෑමට ය.
පෙබරවාරිය රක්ත වර්ණයෙන් බැබළෙන මාසයකි. කඩපිල්වල, වීදි දිගේ රතුරෝස පොකුරු පිටින් සැලෙන, අලංකාර සිහිවටන බුරුතු පිටින් දිලෙන, සෙල්ලම් වලසුන් රංචු පිටින් හිනැහෙන සමයකි. පෙම්වතුන්ගේ දිනය යෙදෙන පෙබරවාරි 14 වැනිදාට තරුණ තරුණියන් අතර අවංක ආදර හැඟුම්වලට වැඩියෙන් හුවමාරු වන්නේ, එකිනෙකාගේ වත්පොහොසත්කම්වල තරම කියාපාන සොඳුරු සිහිවටනයන් ය. විටෙක මේ ආදරවන්තයන්ගේ මාසය ද? නැතිනම් සිහිවටන වෙළෙන්දන්ගේ මාසය ද යැයි සිතෙන තරම් ය.
පෙම්වතුන්ගේ දිනය (Valentine’s Day) පිළිබඳ සංකල්පය අතීත ශ්‍රී ලාංකික සමාජය තුළ දක්නට ලැබුණු සංකල්පයක් නොවුණමුත්, බටහිර රටවලින් මෙරට සංස්කෘතියට ආරෝපිත එකී සංකල්පය ඉකුත් දශක දෙක තුනක කාලය තුළ වඩා වැඩි වර්ධනයක් අත්කරගෙන තිබෙන බව පැහැදිලිව පෙනේ.
වත්මන් ගෝලීය සමාජයේ වාණිජවාදය නැතහොත් පරිභෝජනවාදය තුළ බොහෝ දුරට මානව සබඳතා ජාලය පවා ක්‍රියාත්මක වන්නේ ලාභය ප්‍රමුඛ කොටගත් ගනුදෙනු න්‍යායකිනි. අතීත ශ්‍රී ලාංකේය සමාජයේ පෙම්වතා, පෙම්වතිය නැතිනම් ස්වාමි, භාර්යා එකිනෙකාට දුන් වටිනාකම, වත්මන් වාණිජවාදී සමාජය තුළ එකී පුද්ගලයන්ට දෙන වටිනාකමට සාපේක්ෂව වෙනස් ආකාරයක් ගනී. එකී වටිනාකම් අද වන විට පහත වැටී ඇති බවක් එකහෙළා කිව නොහැකි අතර එය තීරණය වන්නේ වැඩිහිටි සහ තරුණ පරම්පරා ද්විත්වයේ දෘෂ්ටියට සාපේක්ෂව ය. වැඩිහිටි පරපුර නියෝජනය කරන කණ්ඩායමට අනුව වත්මන් තරුණ පරපුර අද වන විට ප්‍රේමය තුළ එකිනෙකාට හා අන්‍යෝන්‍ය හැඟීම් බැඳීම්වලට තබා ඇත්තේ අඩු ලන්සුවක් වුව ද තරුණ පරපුර පෙන්වා දෙන්නේ වැඩිහිටි පරම්පරාවට සාපේක්ෂව ඔවුන් තමන්ගේ ජීවිතය, පෙම්වතුන් පෙම්වතියන් පිළිබඳව නව ආරකින්, සුභවාදීව වඩා නිදහස්ව දකින යුගයක් එළැඹ ඇති බව ය.
අලුත් පරපුර
මෙකී සාකච්ඡාව විවාදාත්මක ව ඉදිරියට ඇදෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ පරම්පරා පරතරය, ආකල්ප හා දැක්ම අනුව ය. වැඩිහිටි පරම්පරාව වත්මන තුළ පෙම්වතා පෙම්වතියගේ බැඳීම අඩු ලන්සුවකට වැටෙන බවක් දකින විට, තරුණ පරම්පරාව එය ඉහළ වටිනාකමකින් දැකිය හැකි ය. ඊට හේතුව වත්මන් තරුණ පරපුර පවත්නා ගෝලීය සමාජය තුළ ම ඉපිද, එහි ම ජීවත් වන පිරිසකි. එහෙත් වැඩිහිටි පරපුර ගෝලීය සමාජයට, වාණිජවාදයට පෙර පැවති සරල සමාජ සංස්ථාවක් ඇතුළත ඉපිද හැදී වැඩුණ පිරිසකි.
සමාජය මේ වන විට වඩා සංකීර්ණ ස්වරූපයක් ගෙන ඇත. එම තත්ත්වය තුළ එදා සමාජයට වැඩියෙන් අද සමාජය තුළ පෙම්වතුන්ගේ දිනය භෞතික අවශ්‍යතා මත භෞතික වශයෙන් සමරණ තත්ත්වයක් අපට හඳුනාගත හැකි ය. පුද්ගලයන් ඔවුනොවුන්ගේ යුතුකම්, වගකීම්, කැපවීම් කවර ආකාරයෙන් ඉටු කළත් ඊට වඩා වැඩි වටිනාකමක් ලබා දෙන්නේ ඔවුන් හුවමාරු කරගන්නා භාණ්ඩවලට ය. ඇතැම්විට ඒවා ඉතාම ඉහළ වටිනාකමකින් යුත් රන්රිදී, මුතු, මැණික්වලින් කළ ඒවා විය හැකි ය. නොඑසේ නම් අගනා සිහිවටන, ඇඳුම් පැලඳුම්, මිල අධික සුවඳවිලවුන්, රෝසමල්, චොකලට් හෝ වෙනස්ම ආකාරයේ හුවමාරු රටාවන් ද මේ වාණිජවාදී සමාජයේ ගනුදෙනු ස්වරූපයත් සමඟ කරළියට පැමිණ ඇත.
අද වන විට පෙම්වතුන්ගේ දිනය සැමරුමට පුද්ගලයන් තුළ වැඩි පෙලඹුමක් ඇති කරන්නේ, මේ වාණිජවාදී සමාජය තුළ වෙළෙඳ ලෝකයේ ලාභය පරමාර්ථය කරගෙන නොවේද? කෙසේ වෙතත් පවතින තත්ත්වය වත්මන් පරපුරට එතරම් හිතකර නොවේ. මෙසේ සිදු වන විට ඔවුන් පෙම්වතුන්ගේ දිනය යනුවෙන් අවබෝධ කරගන්නේ එවැනි දිනක හුවමාරු වන ත්‍යාගවල වටිනාකම මිස තම තමන්ගෙන් ඉටු විය යුතු යුතුකම් වගකීම් හෝ අනෙකා වෙනුවෙන් ලබාදිය යුතු ආදරය, ආරක්ෂාව, අන්‍යෝන්‍ය ගරුත්වය වැනි දේ නොවේ. මේ තත්ත්වය යටතේ ළතෙත් බව, සුහද බව හීන වෙමින් තිබේ. පෙම්වතා පෙම්වතිය එකිනෙකා හඳුනා ගන්නේ ම මෙකී භාණ්ඩ හුවමාරුව තුළ පමණක් නම් ඔවුන්ගේ පෑහීම, තම තමන්ගේ ධන පරාසය තුළ සිදු වන යමක් මිසෙ මානසික වශයෙන්, අාධ්‍යාත්මික වශයෙන් ඔවුනොවුන් අතර ඇති සබඳතාව හෝ ගැළපීම පිළිබඳ කිසිදු තක්සේරු කිරීමක්, අගය කිරීමක් අනුව සිදු වන්නක් නොවනු ඇත.
ඛේදවාචකය
පෙම්වතුන්ගේ දිනයේදී ඇතැම් පෙම්වතියන් අත්තනෝමතික ලෙස හිරිඔතප් බිඳගන්නේ ජීවිතය දැඩි ඛේදවාචකයකට ඇදදමමිනි. සිය ප්‍රේමවන්තයාට ලබාදිය හැකි වෙනත් වටිනා යමක් තමා සතු නොවන විටක, ප්‍රේමවන්තයන්ගේ දිනයේදී සිය කන්‍යාභාවය පෙම්වතා වෙනුවෙන් පිදීමට තරම් ඔවුහු බොළඳ ය. මෙය දරුණු ඛේදවාචකයකි. පෙම්වතුන්ගේ දිනයේදී ඔසුසල් හා වෙනත් වෙෙළඳසල්වලින් උපත් පාලන උපකරණවල වාර්තාගත අලෙවියක් සිදු වේ. එහි අර්ථය වන්නේ මේ දිනය බොහෝ පෙම්වතුන් පෙම්වතියන් පූර්ව වෛවාහක ලිංගික ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන බව ය. මේ දිනයේදී තම කන්‍යාභාවය පෙම්වතා වෙනුවෙන් පිදීම සඳහා ඇතැම් ගැහැනු දරුවන් සැදීපැහැදී සිටින්නේ ජීවිතය පිළිබඳ ඔවුන් තුළ ඇති නොදැනුවත්භාවය හේතුවෙනි. ඔවුන් මානසික වශයෙන් අති විශාල ලෙස කනගාටුදායක සහ නිද්‍රාශීලී භාවයකට පත්ව සිටින අතර තමන් කරන්නේ කියන්නේ කුමක්ද? යන්න පිළිබඳව අවබෝධයක් නොමැති තරම් ය. සැබැවින් ම පෙම්වතුන්ගේ දිනය පූර්ව වෛවාහක ලිංගික පැවැත්මකට, අනවශ්‍ය ගැබ් ගැනීම්, අවදානම් සහගත ගබ්සා කිරීම්, තනි මව්පියන් බවට පත්වීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, ගණිකා වෘත්තියට යොමුවීම වැනි දේට මුල පාදන දිනයක් විය යුතු නැත. ඉන් ඔබ්බට ගිය ආධ්‍යාත්මික යමක් එතුළ ගැබ් විය යුතු ය. ප්‍රේමය පැවතීම, ප්‍රකාශ කිරීම හෝ සෙනෙහස දැක්වීම එක් දිනකට නොව ජීවිත කාලයට ම අදාළ විය යුතු ය.
දූරදර්ශී වීම
යොවුන් ප්‍රේමය බොහෝ විට පවතින්නේ අඩමානයේ ය. ඇතැම්විට ගසකින් ගිලිහෙන්නට ඔන්න මෙන්න ඇති පතක් ලෙස පවතින යොවුන් ප්‍රේමය විවාහයක් දක්වා පවත්වාගෙන යෑමේ සම්භාවිතාව ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයකි. යොවුන් පෙම්වතුන් ජීවිතයේ මුහුණ පාන නොයෙකුත් අභියෝග, කැලඹිලි, කුණාටු හමුවේ බොහෝ විට ඔවුන්ගේ පෙම් සබඳතා විවාහයට මත්තෙන් කෙළවර කරනු ඇත. මෙකී ස්වභාවය යෞවන යෞවනියන් පැහැදිලිව අවබෝධ කරගත යුතුම ය. මේ දිනය වනාහී පෙම්වතුන්ට ලිංගික සංසර්ගයේ යෙදීමට අවසර දෙන දිනයක් නොවේ. යම් විටක පෙම්වතා විසින් එවැනි හැසිරීමක් පෙම්වතියගෙන් අපේක්ෂා කරන බවක් හැඟීයන විටක පෙම්වතිය ඉතා දූරදර්ශී විය යුතු ය. ප්‍රේමය වෙනුවට පහස සොයා එන ඇතැම් පෙම්වතුන්ගේ අභිලාශය සිය ලිංගික ආශා සන්තර්පණය කරගත් පසු, පෙම්වතිය මඟහැර දැමීමද විය හැකි ය. එනිසා ජීවිතය පිළිබඳ තීන්දු තීරණ ගැනීම, අවදානම පිළිබඳ අවධානයෙන් කළ යුත්තකි.
වැඩිහිටි අවධානය
පෙම්වතුන්ගේ දිනය සැමරීම වැඩියෙන් දක්නට ලැබෙන්නේ විවිධාකාර වූ අභිමතාර්ථ මුල් කරගනිමින් එය අවභාවිතයට ලක් කරන්නක් මෙනි. මේ තත්ත්වය පෙන්නුම් කරනුයේ ඇතැම් තරුණ තරුණියන් හැසිරීම ගින්නට ඇදෙන පළගැටියන් සේ ය. තරුණ ජීවිත විනාශ මුඛයට ඇදවැටෙන අයුරින් පෙම්වතුන්ගේ දිනයේ සිදු කෙරෙන ඇතැම් ක්‍රියාකාරකම් වහා නවතා දැමිය යුතු ය. වැඩිහිටියන් දරුවන් පිළිබඳව මනා අවබෝධයකින් අවධානයකින් සිටිමින්, ඔවුන් මඟ වරද්දා ගැනීමට ආසන්න වන විටකදී ඉන් ගලවා ගැනීමට කටයුතු කළ යුතු ය. රටේ අනාගත පරපුරට ඉවක් බවක් නැති විචාරයකින් තොර නොමනා හැසිරීම් දැක්වීමට ඉඩ තැබුවහොත් රට සංස්කෘතිමය සහ සභ්‍යත්වයෙන් පිරිහෙන්නේ ය.
උදා වන පෙම්වතුන්ගේ දිනය පෙම්වතුන් පෙම්වතියන් බුද්ධියෙන් තොරව හදවතින් වැලඳ ගතහොත් සිදු වන්නේ අනර්ථයකි. එනිසා විචාරශීලීව මෙකී දිනය සැමරිය යුතුය. මේ දිනය සැබවින්ම ප්‍රේමණීය දිනයක් බවට පත් කිරීමට කළ හැකි දේ බොහෝ ය. එහි එක් පියවරක් ලෙස මෙවර පෙම්වතුන්ගේ දිනය නිමිති කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායමක් විසින් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැස්කර ගනිමින් පුරා සතියක් ප්‍රේමය පිළිබඳ වැඩසටහන් මාලාවක් දියත් කිරීමට සූදානම් ය. විවිධ අංශවල විද්වතුන් හා තරුණ පෙම්වතුන් අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) දිගහැරෙන සංවාදයක් ද මේ දිනවල පැවැත්වේ.
රාගයේ උමතුවෙන් හෝ බමන මතින් සාද පවත්වමින් පෙම්වතුන්ගේ දිනය සැමරීම වෙනුවට නව අර්ථයකින්, දැක්මකින් ඒ සඳහා වෙනස් ම ආකාරයේ ප්‍රවේශයක් ලබාදීමට ඇතැම් සංවිධාන උත්සුක වූ ආකාරයක් පසුගිය කාලය තුළ වරින්වර දක්නට ලැබිණි. මෙවර කොවිඩ් අවදානම මඟහරවා ගනිමින් එවැනි දේ සිදු කිරීමට මාර්ගගත ක්‍රමය යොදා ගැනීම නුවණට හුරු ය.
රට තුළ පවත්නා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ද නව යෞවන යෞවනියන්, තරුණ තරුණියන් සිටින්නේ අසහනයෙනි. ජීවිතය සුන්දරව ගලා යා යුතු කාලයේ කොවිඩ් නිසා ඔවුන් යම් පමණකට කොටු වී සිටී. සිර වී සිටී. එබැවින් කලාව, සාහිත්‍ය මුසු කරමින් ප්‍රේමය පිළිබඳ නිවැරදි සහ පැහැදිලි දැක්මක් ඔවුන් තුළ ඇති කිරීමට මේ පෙම්වතුන්ගේ දිනය යොදා ගත හැකි ය. වත්මන් පෙම්වතුන්ට ජීවිතය සහ ආදරය පිළිබඳ මනා අවබෝධයක් සහ දැක්මක් ලබාදීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් ම අනාගත මව්පියන් වීමට නියමිත ඔවුන්, මව්පිය පදවියේ තැබීමට සුදුසු පුද්ගලයන් බවට පත් කළ යුතු ය. ඒ වෙනුවෙන් වැඩිහිටි පරම්පරාව විසින් තමන් සන්තකයේ වන ගුණධර්ම, ජීවිතාවබෝධය පිළිබඳ අත්දැකීම් දූ දරුවන් අතට පත් කළ යුතුය. ඒ සඳහා යොදාගත හැකි කදිම දිනයක් ලෙස පෙම්වතුන්ගේ දිනය පෙන්වා දිය හැකි ය. එදිනට පෙම්වතුන් සහ ප්‍රේමය ගැන කතිකාවක් ගොඩනැඟීමට පෙම්වතුන්ට ම ඉඩ දිය යුතු ය.
වගඋත්තරකරුවෝ
නූතන තරුණ පරපුර නොමඟ යන බව කියන්නේ නම් එහි වැඩි වගකීමක් ගත යුත්තේ ඔවුන්ගේ වැඩිහිටියන් ය. වත්මනෙහි ඇතැම් මව්පියන් තම දරුවන්ට අවවාද අනුශාසනා දීමට සුදුසු මට්ටමක නැත. කකුළුවා ඇදයට යමින් පැටවුන්ට කෙළින් යෑමට කීමෙන් ඇති ඵලය කුමක්දැයි විමසිය යුතුය. පැටවුන්ද උත්සාහ කරන්නේ මහ කකුළුවා ගිය පාරේ යෑමට ය. ඇතැම් තරුණ තරුණියන්ගේ මවට, පියාට අනියම් සබඳතා එමට ය. එකී තත්ත්වය අත්දකින දරුවෝ එවැනි දේ සාමාන්‍ය සිදුවීම් ලෙස පිළිගැනීමට උත්සාහ ගනිති. ඒ අතර වත්මන් ගීත නිර්මාණ ආදිය තුළ ද අනියම් ප්‍රේමය ඉස්මතු කරන සහ සාධාරණීකරණය කරන දේ ගැබ්ව පවතී. කලාව අවභාවිත කරන ඇතැම් කලාකරුවෝ ද වත්මන් තරුණ පරපුරට අත්ව ඇති ඉරණමට වගඋත්තරකරුවෝ ය. මේ ගැටලුව ලිහාගැනීමේ වගකීම වැඩිහිටි පරපුර විසින් කරට ගත යුතු ය. තරුණ පරපුරට ජීවිතය, ආදරය සහ මානව සබඳතා පිළිබඳ නිසි අවබෝධයක් නොදුණහොත් අප විසින් ගොඩනඟාගෙන තිබෙන ශිෂ්ටාචාරය ඇස් පනාපිට කඩා වැටෙනු ඇත. මෙවර පෙම්වතුන්ගේ දිනය, පුහු ආටෝපයට පමණක් සීමා නොකොට, අර්ථාන්විත සැමරුමක් කරා ගෙනයෑමට සමස්ත සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතු ය.