Saturday, September 21, 2024

විදුලි පුටුව අහෝසි කිරීමේ ගෞරවය මෛත්‍රී – රනිල් ආණ්ඩුවටය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවන සැසිවාරය ජිනීවා නුවරදී ආරම්භ විය. විදේශ ඇමැති මංගල සමරවීර මහතා සමුළුව අමතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වර්ධනය ගැන කරුණු ඉදිරිපත් කළේය. සමුළුව පවත්වන කාලයේ එහි සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස විවිධ රටවල නියෝජිතයන් හමුවී කරුණු දක්වනු ඇත.

සමුළුව ආරම්භ කරමින් කතා කළ මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ෂෙයිද්රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේ සියලු දෙනාට හා ලොකු කුඩා සියලු ජාතින්ට සාධාරණය ඉෂ්ට නොවුණහොත් ලෝකය රණකාමයෙන් පීඩාවට පත්වන බවයි. කැරලි තුනක රණ කාමයෙන් විශාල කාලයක් පීඩා විඳ ඇති කුඩා ජාතියක් වන අපට එය මතක තබාගැනීමට වටිනා අදහසකි.

මීට වසර කිහිපයකට පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය පවත්වන විට එහි ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා යුද අපරාධ සම්බන්ධ ප්‍රශ්න කිරීමයි. එල්.ටී.ටී.ඊ හිතවාදී මෙන්ම මධ්‍යස්ත දෙමළ ජනයාද ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණවල හා ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියහ. මෙරට රජයට එරෙහිව වසර කිහිපයක් තිස්සේ එකදිගට යෝජනාද සම්මත විය. 2009 දී යුද්ධය අවසන් වුවත් රටම සිටියේ යුද්ධයකට මැදිවු මානසිකත්වයකිනි.

මේ වනවිට පෙනෙන්නට තිබෙන්නේ වෙනස් තත්ත්වයකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා මහත් විශ්වාසයෙන් ප්‍රකාශ කළේ ‘විදෙස් විනිසුරන් පිළිබඳ කතාව ඉවරයි. ඒ ප්‍රශ්නය අපි අවසන් කළා’ යනුවෙනි. එහි තේරුම නම් විදෙස් විනිසුරන් නොගෙන්වන බව පමණක් නොවේ. එම ස්ථාවරයට ලෝකයේ රටවල සහය දිනාගත හැකි තත්ත්වයක්ද ගොඩනගාගෙන ඇති බවයි. එවැනි තත්ත්වයක් වැදගත් වන්නේ මේ ප්‍රශ්න අල්ලාගෙන රට ගිනි තියන්නටත් ජාතිවාදය අවුස්සන්නටත් පිරිසක් බලාසිටින නිසාය. ජනාධිපතිවරයාගේ උපාය මාර්ගය නම් මෙම පිරිසට අවස්ථාවක් ලබා නොදීම බව පෙනෙන්නට තිබේ.

ජිනීවා තත්ත්වය

එක් අතෙකින් ගත්විට මෙවර ජිනීවා සමුළුව ශ්‍රී ලංකාව තවත් ප්‍රශ්නයකට මුහුණදෙන අවස්ථාවකි. එයට හේතුව නම් 2015 දී ජිනිවා සමුළුවේ ශ්‍රී ලංකාවේ සම්බන්ධ මෙරට රජයද හවුල්වී ඉදිරිපත් කළ යෝජනාවේ කරුණු ඉටු කිරීමට රජයට තවමත් නොහැකිවීමයි. ඇතැම් කරුණු ඉටු වී ඇතත් බොහෝ දේ පවතින්නේ අඩක් අවසන් තත්ත්වයේය. එබැවින් ඉතිරි යෝජනා ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලීමට මෙන්ම ඇතැම් යෝජනා නැවත සලකා බැලීමට ඉල්ලීම් කිරීමටද ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවනු ඇත. එහිදී රජයේ ශක්තියට ඇති කරුණ වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් මේ වනවිට රටේ සිදුවී තිබෙන යහපත් වර්ධනයයි.

මෙම සමුළුවේදීද රජයට එරෙහිව කටයුතු කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ. ඉන් එක් පිරිසක් නම් තවමත් ඉතිරිව සිටින එල්.ටී.ටී.ඊ හිතවාදී සුළු පිරිසයි. පෙනෙන ආකාරයට ඔවුන‍්ගේ ශක්තිය මේ වනවිට විශාල ලෙස පිරිහී ගොසිනි. එය රජයට වාසිදායකය.

දෙමළ සමාජයේ සිටින තරමක් අන්තවාදී පිරිස්ද රජයට එරෙහිව කටයුතු කරමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පිරිසක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ තමන් භාරගත් කටයුතු ඉටු කිරීමට රජයට තවත් කල් නොදිය යුතු බවය. එසේ වුවද දෙමළ ජාතික සන්ධානයේ පුවත්පත් සාකච්ඡාවකදී එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය එබඳු ඉල්ලීමක් කොට නැති බවයි. මෙම ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබන බවත් තවත් කල් දීමට තමන් විරුද්ධ නැති බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත. එයද රජයට ශක්තියකි.

දකුණේ මානව හිමිකම් සංවිධානවලටද ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් ප්‍රශ්න ඇති බව පෙනෙන්නට තිබේ. ප්‍රධානම ප්‍රශ්නය නම් නව ව්‍යවස්ථාවක් සම්පාදනයේදී ආණ්ඩුව ක්‍රියාකරන ඇල් මැරුණු ස්වරූප‍යයි. එය දිගින් දිගට ප්‍රමාද වීමයි. එමෙන්ම ආණ්ඩුවේම ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ මගින්ද යම් ව්‍යාකූලතාවක් ගොඩනැගී ඇත. එසේ වුවද ආණ්ඩුවට එරෙහිව යෑමට තරම් මෙම මානව හිමිකම් සංවිධානද දුර යන බවක් පෙනෙන්නට නැත. තවමත් ඔවුන්ගේ ප්‍රධාන විරෝධය එල්ල වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නව ව්‍යවස්ථාවකට එරෙහිව විපක්ෂයෙන් එල්ලවන ජාතිවාදී විරෝධතාවයටය.

මේ තත්ත්වය යටතේ මෙවර ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධවන්නේ තරමක සැහැල්ලුවෙනි. යම් තරමකට අභියෝග ඇතත් ජයගත නොහැකි බරපතළ තත්ත්වයන් නැති බව හොඳින්ම පෙනෙන්නට තිබේ.

මෙම තත්ත්වයට හේතුව 2015 ජනවාරි 8 වෙනසින් පසුව මෙරට මානව හිමිකම්වල සිදුවී ඇති වර්ධනය බව අමුතුවෙන් කිවයුතු නැත. එදා මෙන් සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන යාම් දැන් සිදුවන්නේ නැත. රතු පස්වලදී හා නිදහස් වෙළෙඳ කලාපයේදී මෙන් උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම් සිදුනොවේ. දැන් නිතර නිතර උද්ඝෝෂණ වැඩ වර්ජන සිදුවන්නේ මහජනයා පීඩාවට පත්වන තත්ත්වයන්ද ඇති තරමිනි. ඒ බොහොමයක් සඳහා සාකච්ඡා මගින් විසඳුම් ලබාදීමට හැකිවී තිබේ.

සහයෝගිතා වාදය

එ‍දා වැලිකඩදී සිරකරුවන් මරාදැමුවාසේ සමූහ ඝාතන දැන් සිදුවන්නේ නැත. සිවිල් කටයුතුවලදී හමුදාවේ මැදිහත්විම්ද නවතා ඇත. එමෙන්ම එදා සමාජයේ තිබු භීතියද දුරුකොට හමාරය. මහජනයා නිදහසක් භුක්ති විඳින බව පැහැදිලිය.

සයිටම් ආරම්භ කොට වෛද්‍ය විද්‍යාල අරඹන විට දෙපැත්තම වසාගෙන සිටි උදවිය දැන් පාරට බැස මරාගෙන මැරෙන්නට කෑගහන්නේ ලැබුණු නිදහස යටතේ ඔවුනට තිබෙන ආරක්ෂාව දන්නා නිසාය. එදා එළියට නොබැස්සේ ප්‍රතිවිපාක ගැන දැන සිටි නිසාය.

කාලයක් තිස්සේ විශ්‍රාම වැටුප් අසධාරණයකට ලක්ව සිටි බව කියන ආබාධිත රණවිරුවන්ද පාරට බැස උද්ඝෝෂණය කළහ. ඒ රණවිරුවන් ගැන මහ ඉහළින් කතා කළ පාලකයන්ගෙන් සිදුවු අසාධාරණයට වත්මන් පාලනයෙන් විසඳුම් ලබාගන්නටය.අවසානයේ ප්‍රශ්න විසඳාගත් ඔවුහු විසිර ගියෝය.

ඇතැම් තැන්වල උද්ඝෝෂණ හා විරෝධතා සිදුවන්නේ මහජන වුවමනාවන් අනුව නොවන බවත්, යම් සංවිධානාත්මක දේශපාලන මෙහෙයුම් මත බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඇතැම් විරෝධතා සංවිධානය කරන්නේ සංවර්ධන වැඩ කඩා කප්පල් කරන්නටය. එසේ වුවද පෙනෙන විදිහට නම් ඒවායින්ද අවසානයේ ලකුණු වැටෙන්නේ ආණ්ඩුවටය. තහවුරුවන්නේ ආණ්ඩුව ජනයාට ලබාදී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහසයි.

මෙයින් කියැවෙන්නේ සියල්ල යහපත්වී ඇති බව ‍ෙනාවේ. මානව හිමිකම් කඩවන අවස්ථා ගැන තවමත් වාර්තාවෙයි. පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයකු මිය යාම ගැන ඊයේ පෙරේදා වාර්තාවීය. එසේ වුවද ඒ ගැන වහාම ක්‍රියාමාර්ග ගත් බවද ඒ සමඟම වාර්තා විය. වෙනස ඇත්තේ එහිය.

ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට එන සියලු නියෝජිතයන් මේ සියලු කරනු නොදන්නවා විය හැකිය. එසේ වුවද ඔවුන් සියලු දෙනාටම තත්ත්වය ගැන තමන්ගේම වාර්තා ඇති බව පැහැදිලිය. එබැවින් ආණ්ඩුව දැන් සිටින්නේ එදාට වඩා ශක්තිමත් තත්ත්වයකය. ‘විදේශ විනිශ්චයකාරවරුනගේ ප්‍රශ්නය ඉවරයි කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාසයෙන් කියන්නේ මෙම තත්ත්වය පිළිබඳ තක්සේරුවක් ඇතුවය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමග මේ ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය පසුගිය ආණ්ඩුවට වඩා සම්පූර්ණයෙන් වෙනස් බව පෙනෙන්නට තිබේ. මේ ආණ්ඩුවේ ක්‍රමවේදය නම් ලෝකයේ සියලු රටවල් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමයි. ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ඔවුන්ට වුවමනා වී තිබුණේ ලෝකයේ අන් රටවල් සමඟ ගැටුමකට යාමය. ඒ ඔවුන්ගේ දේශපාලන පැවැත්මේ උපාය මාර්ගයයි. විශේෂයෙන්ම බටහිර රටවල් සමග ගැටුම් ඇතිකර ගනිමින් ඔවුන් අප රටට එරෙහිව ක්‍රියා කරන බව කියමින් එයට එරෙහිව දේශප්‍රේමි වෙස් මුහුණක් පැලඳගෙන දේශපාලන වාසි ලබාගැනීම මහින්ද පාලනයේ උපාය මාර්ගයයි. අදත් ඔවුන් වෙනස් ආකාරයකින් කරන්නට හදන්නේ ද එයමයි.

මහින්දගේ පොරොන්දුව

එකල ‍රාජපක්ෂ ආණ්ඩුව කළේ එක පැත්තකින් එදාවේල දේශපාලනයකි. යුද්ධය අවසන් කළ පසුව දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුමක් ගැන විමසූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වූයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් දෙන බවයි. එය ඉක්මන් කරන්න කියනවිට මගහැර ගිය ඔහු පසුව කීවේ ජාත්‍යන්තර බලපෑම් ගැනය. දැන් කියන්නේ යුද්ධයෙන් බැරිවුණ දේ සාමයෙන් කරගන්න හදනවා කියාය.

මෙවැනි ගැටුම් හදාගන්නේ එහෙමය. ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තිබෙන්නේ එවිටය. කොහේවත් නැති ‘විදුලි පුටුවක’ට ගෙනියන්න හදනවාය කියමින් පුහු වීරයන් වෙන්න හදන්නේ මේ ගැටුම අවුස්සා ගනිමින්ය.

මොවුන්ගේ දේශපාලන පැවැත්මට නිතරම සතුරෙක් සිටීම අවශ්‍යය. බිල්ලන් මවාගන්නේ ඒකටය. විටෙක බටහිර රටවල්ය. තවත් විටෙක ඉන්දියාවයි. මෑතක සිට මොවුන්ට පෙනෙන අනෙක් බිල්ලා චීනයයි. මෙරට ජනයාගේ අයිතීන් ගැන අහනවිට බටහිර ‍රටවල් බිල්ලෙකි. එට්කා ගැන ඉන්දියාව සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම අනුවය. එවිට බිල්ලා ඉන්දියාවය. වරෙක සාම්පූර් විදුලි බලාගාරය නිසාද ඉන්දියාව බිල්ලෙකු විය. මේ කල්ලියේ අලුත්ම බිල්ලා චිනයයි. ඒ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල සංවර්ධනයට චීන ආධාර ගන්න හදන නිසාය.

අාණ්ඩුෙව් ගමන්මග

මේ බිල්ලන්ට බියවීමට රාජපක්ෂ කල්ලියට නම් හේතු තිබිණි. රටේ මහජනයා බියපත් කොට ඒකාධිපති පාලනයක්ගෙනගිය ඔවුන්ට මානව හිමිකම් ගැන කතාකිරීම බියපත්වීමට හේතුවකි. රට සංවර්ධනය වුවහොත් තමන්ට යන එන මං නැතිවන බව දන්නා නිසාය. එට්කා මෙන්ම හම්බන්තොට වරාය ගිවිසුමද මේ කල්ලියට බිය වීමට ‍ෙහ්තුවකි. එසේ වුවද මේ සියල්ල මෙරට ජනයාගේ වුවමනාවන්ය. මේ ආණ්ඩුව වැඩ කරන්නේ එම මහජන වුවමනාවන් වෙනුවෙනි.

මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නේ සියලු දෙනාගේ මෙන්ම සියලු ජන වර්ගවල අයිතින් ආරක්ෂා කිරීම සඳහාය.තොරතුරු දැනගැනීමේ පනත් ගෙනාවේ දුෂණය පිටු දකින්නටය. ව්‍යවස්ථා සභා, ස්වාධීන කොමිසන් ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නටය. මෙකී නොකී තව බොහෝ දේ කර ඇති අතර කරන්නටද තිබේ. ඒවා කරන රජයට ජිනීවාව සටන් බිමක් වන්නේ නැත. එය දැන් සහයෝගිතා මණ්ඩපයකි. එබැවින් දැන් කිසිවකුත් විදුලි පුටුවල නගින්න සූදානම් විය යුතු නැත. විදුලි පුටුව අහෝසි කිරීමේ ගෞරවය මෛත්‍රී – රනිල් ආණ්ඩුවටය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles