Friday, September 20, 2024

විදේශීය විනිශ්චයකරුවන් ගෙන්වීමේ කථා බොරු -ජනපති

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

අද රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ පිරිසිදු දේශපාලන චරිත බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයේ සිටියත් නැතත් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා වූ තම දේශපාලන අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව අද (03) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා කිසිදු තැනක, කිසිදු ගිවිසුමකින් කොටු වී නැති තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තීන් සහ දර්ශනය ඉදිරියට ගෙන යාමට අවංකවම කැපවී සිටින බවද අවධාරණය කළේය.

රටේ ස්වාධීත්වය සහ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් නිරන්තරයෙන් පෙනී සිටින අතර කිසිවිටෙකත් විදේශ විනිශ්චයකාරවරුන් මේ රටට ගෙන්වීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිතුමා මානව හිමිකම් කඩවීම් පිළිබඳ තිබෙන චෝදනා අනුව ශ්‍රී ලංකාවට විදේශීය විනිශ්චයකරුවන් ගෙන්වීමේ අදහස ක්‍රියාත්මක කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මීට සති දෙකකට පෙර කළ ප්‍රකාශයට පැය 24ක් නික්ම යාමට මත්තෙන් ප්‍රතිචාර දැක්වූ තමා කිසිසේත් විදේශ විනිශ්චයකාරවරුන් මේ රටට ගෙන්වීමට සූදානම් නොමැති බව ඔහුට දැන්වූ බව ද කියා සිටියේය.

ජනතා යහපත උදෙසා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් රජය මේ වන විට විශාල වැඩකොටසක් ඉටු කර තිබෙන අතර ජනතාව බලාපොරොත්තු වන වෙනස ඔවුන්ට ලබාදීම සඳහා තවත් බොහෝ කටයුතු ඉටුකළ යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා වංචාව, දූෂණය, අක්‍රමිකතාවය බැහැර කර රට ගොඩනැගීමේ පිරිසිදු දේශපාලන ගමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගත යුතු බවද කියා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික තරුණ සම්මේලනයේ සංවිධාන කටයුතු පිළිබඳ මෙන්ම සාර්ථක මැයි රැළියක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

නීති සංගම්, ගුරු සංගම්,වෘත්තීය සමිති සංගම්, උපාධිධාරීන්ගේ සංගමය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සියලු සංවිධානවල සාමාජිකයින් මෙම හමුවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ද හිටපු අග්‍රාමාත්‍ය දි . මූ. ජයරත්න, හිටපු කතානායක චමල් රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද එක්ව සිටියහ.

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles