Sunday, September 22, 2024

විධායක බලතල යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට පසුබට වන්නේ නැහැ – ජනපති

රටේ ජනාධිපතිවරයා ලෙස   ලැබී  ඇති  විධායක බලතල රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක පසුබට නොවන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පැවසීය.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුරාධපූර රුවන්වැලි සෑ රඳුන්  අභියසදී  දිව්රුම් දීමෙන් අනතුරුව අද (18) ජාතිය අමතමින් ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා  මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව  සමඟ ගනුදෙනු කිරීමේදී  රටේ ඒකීයත්වයට, ස්වාධීනත්වයට ගරු කරන ලෙස සියලු  විදෙස්  රටවලින් ඉල්ලා සිටින බවද එහිදී ජනාධිපතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

‘රටේ සිංහල ජනතාවගෙන් පමණක් මැතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණත් දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා. අපේක්ෂා කළ අයුරින් ඒ සහය ලැබුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයා ලෙස නැවතත් මා  ඉල්ලා සිටිනවා රටේ අභිවෘද්ධිය උදෙසා  සියලු දෙනාට එකතුවන ලෙස.

වසර ගණනක ඓතිහාසික දේවල්, අපේ කම , ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට  කටයුතු කරනවා. ආගමික හා ජාතික අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරනවා . ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ගෙන ආ යෝජනා ඉටු කරමින් රටේ අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම රජයේ මූලික වගකීමක්. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියලු දේ ඉටු කිරීමට ධූරකාලයේදී  කැප වෙනවා. 21 වැනි ශත වර්ෂයේ අභියෝගතාවලට ජනතාවට මුහුණ දීමට තමා සෑම ක්ෂේත්‍රයක තාක්ෂණිත්වය පුළුල් කරනවා .‘ යනුවෙන් පැවසීය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සහය ලබාදුන් මැති ඇමැතිවරුන්, පාක්ෂිකයින් ඇතුළු සියලු දෙනාට ස්තූතියද පිරිනැමීය . අනතුරුව  එහිදී  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සුබ පැතීමද සිදු  කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles