ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 වන යුදහමුදාපතිවරයා ලෙස තේරී පත් වූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය රාජකාරි ඇරැඹීමෙන් පසු කළ ප්‍රථම කාර්යය වූයේ ජනමාධ්‍යවේදීන් හමු වීමයි. එහිදී යුද සමයේ සිට හමුදාවේ සේවාවන් මහජනතාවට ගෙන යෑමේදී ජනමාධ්‍ය දැක්වූ සහයෝගයට සියලු ජනමාධ්‍යායතනවලටත් ජනමාධ්‍යවේදීන්ටත් ස්තුතිය පළ කළ යුදහමුදාපතිවරයා ඉදිරියේදීත් යුද හමුදාවේ සියලු කාර්යයන්
සඳහා මාධ්‍යයේ සහාය අවශ්‍ය බව පැවසුවේය. එතුමා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකසේ.
වසර 30ක පමණ කාලයක් යුද බිමේ අත්දැකීම් ඇසරෙන් මේ රටේ හමුදාව නව මාර්ගයක් කරා ගෙන යෑමට දැන් කාලය එළඹ තිබෙනවා. මේ තිස් අවුරුදු යුද්ධය නිසා රණවිරුන් 28000කගේ පමණ ජීවිත අපට අහිමි වූවා. ඒ සියලු දෙනා තම දිවිය කැප කළ නිසා අද අපට මේ ලෙස කිසිදු බියක් සැකක් නැතිව දිවි ගෙවීමට හැකි වී තිබෙනවා.
යුද හමුදාවේ ශක්තිය වන්නේ ‘විනය හා කැප වීම’ යි. විනයකින් තොරව හමුදාවට ඉදිරි ගමනක් නැහැ. විනය තුළින් මේ ගමන්මඟ ආරක්ෂා කරගැනීමට අපට හැකියාව ලැබෙනවා.
2009 වසරේ ත්‍රස්තවාදීන්ගේ රට බෙදීමේ යුද්ධය අවසන් කිරීමට ලැබුණු අතර, ඒ යුද්ධයේ මුල් තැනක් ගෙන කටයුතු කළ හිටපු යුදහමුදාපති ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතා විසින් හමුදාව නව මාවතක් කරා ගෙන යෑමට කටයුතු කර ඇති බව ඉතා පැහැදිලියි. නැවත කිසිදු ආකාරයක එවන් උපද්‍රවයක් දිවයිනේ ඇති නොවන පරිදි මේ වන විට කටයුතු කර තිබෙනවා. හිටපු යුදහමුදාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර හෙබවීමත් යුද හමුදාවට ලොකු ශක්තියක්ව ඇත්තේ ඔහු යුදහමුදාව ගැන හොඳින් දන්නා ත්‍රස්තවාදීන් සමඟ යුද කළ අයෙක් නිසයි.
යුදහමුදාවේ ප්‍රධානතම කැප වීම වන්නේ රට උවදුරුවලින් ආරක්ෂා කරගැනීමයි. යුද්ධයේ අවසන් සමයේ සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ හෙයින් සාමකාමී ශ්‍රී ලංකාවක් තුළ ජනතා සේවයට කැප වීම අසීරු කරුණක් නොවෙයි. රටේ සියලුම දෙනා යුද හමුදාව දෙස බලාගෙන සිටින්නේ විනය උපරිමයෙන් ආරක්ෂා කරනු ලබන ස්ථානයක් ලෙසයි. හමුදා නිලධරයා වගේම සෙසු නිලයන් හැම විටම නීති දෙකකට යටත් විය යුතු වනවා.
එයින් පළමුවැන්න හමුදා නීතියයි. ඒ යුද්ධාධිකරණයයි. අනෙක සිවිල් නීතිය හෙවත් දණ්ඩ නීති සංග්‍රහයයි. මේ නිසා හමුදා නිලධරයකු හෝ සෙසු නිලයින් විසින් යම් වැරැද්දක් කළහොත් ඔහු දඬුවම් දෙකකට යටත් වනවා. මේ නිසා අඩුවෙන්ම වැරදි සිදුවන්නේ හමුදා නිලධාරීන්ගෙන් සහ සෙසු නිලයන්ගෙන්. මේ නිසා සමාජයත් හැම විටම එවන් අයකුගෙන් වරදක් වූ විට එය බරපතළ සේ සැලකීමට පුරුදුව සිටිනවා.
එමෙන්ම ලක්ෂ දෙකක් පමණ වන අධික පිරිස් සංඛ්‍යාවකින් යුත් යුද හමුදාවේ එක් අයකු හෝ දෙදෙනකු විසින් යම් වරදක් අපරාධයක් හෝ සිදු කළ විට සමස්ත පද්ධතිය දෙසම ඒ ඇසින් බැලීමත් සුදුසු වන්නේ නැහැ. එවන් අවස්ථාවල ඒ පුද්ගලයන් හැඳින්වීමට ‘හමුදා සෙබළා, පැන ගිය සෙබළා’ යන වදන් භාවිත වුවත් වෙනත් වැරදිකරුවකු එලෙසින් තම රාජකාරි ස්වභාවයෙන් හැඳින්වීමක් දක්නට නැහැ.
කෙසේ හෝ වරින් වර දේශීය මෙන්ම විදේශීය වශයෙනුත් එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් සිදු කෙරෙනවා නම් ඒ සදහා යුද හමුදාවේ සහාය ලබා දිය යුතුයි. එහෙත් යුද බිමේ සිටි අය ලෙසින් එවන් කිසිදු ආකාරයක් අපරාධයක් යුද හමුදාවෙන් සිදු නොවූ බව පෙන්වා දිය යුතුයි.
මෙහිදී නඟන චෝදනා කොතරම් සාධාරණද සත්‍යතාවෙන් යුක්තද යන්න ගැටලු සහගතයි. කවුරුන් හෝ පැවසූ දෙයක් හෝ අසා දැනගත් යමක් හෝ ඔස්සේ යම් යම් චෝදනා ගොනු කරන්නට ඇතැමුන් පෙලඹ සිටිනවා.
කෙසේ වුවත් නිල ඇඳුමක් ඇදගත් පමණින් හමුදා නිලධරයකු වන්නට බැහැ. විනය මුල් කරගෙන කටයුතු කළහොත් පමණයි ඔහුට හමුදා නිලධාරියකු වන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම නිලයක් ලබා දෙනවා කියන්නේ වගකීමක් ලබා දීමයි යුද්ධයේදී කටයුතු කළාක් මෙන් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදුණු අයුරින් නොව සිවිල් ජනතා කටයුතුවලදී හමුදා නිලධාරීන් නිලයේ ගෞරවය හමුදාවේ ගෞරවය මෙන්ම රටේ ගෞරවය වඩාත් ඉහළින්ම ගරු කරමින් කටයුතු කළ යුතු වනවා.
ජනමාධ්‍යවේදීන් පැහැරගැනීම මෙන්ම රතුපස්වල බඳු සිද්ධිවලට සම්බන්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් අතින් අණ දීමේදී වරදක් සිදුව ඇත් නම් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරනු ඇති. එසේම එම සිදුවීම් සම්බන්ධයෙන් අණ දුන් පරිපාලන හෝ දේශපාලන බලාධිකාරයක් ඇත්නම් පරීක්ෂණ කණ්ඩායම් විසින් ඒ බව තහවුරු කර ගනු ඇති. යුද හමුදාවෙන් යම් උපකාරයක් ඒ සඳහා අවශ්‍ය වන්නේ නම් ඒ සියල්ල ලබා දීමට හමුදාව සූදානම්.
ත්‍රස්තවාදය නිමා වූ පමණින් රටේ සාමය ස්ථාපිත වේයැයි විශ්වාස කරන්න බැහැ. පරම්පරා තුනක ජනතාව තවමත් උතුරේ අනාථ කඳවුරුවල ඉන්නවා. ඒ අයගෙන් සැලකිය යුතු පිරිසකට කන්කසන්තුරේ කීරමලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. එපමණක් නෙවෙයි; උතුරේ නිවාස ව්‍යාපාතී සඳහා සියලු අමුද්‍රව්‍ය ලබාගත්තේ උතුරේ ව්‍යාපාරිකයන්ගෙන්. ඒ මඟින් උතුරේ ව්‍යාපාරික ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න පුළුවන්.
ඒ ලෙසින්ම උතුරේ ජනතාවගේ දෛනික කටයුතු සිවිල් පරිපාලනය හා සම්බන්ධ කළ යුතු වෙනවා. තවමත් උතුරේ ජනතාවට සාමාන්‍ය දිවි පෙවතින් තොරව ඉන් ඔබ්බට යෑමට නිසි පරිදි හැකියාවක් නැහැ. පාසලක ලොකු උත්සවයක් තිබුණත් ඒ සඳහා යුද හමුදාවේ සහාය පතන්න වෙලා. සම්පත් හිඟයක් තවමත් උතුරේ තිබෙනවා. හමුදාවට හැරෙන්න අනෙකුත් ආයතන හෝ දෙපාර්තමේන්තුවල ධාරිතාව බෙහෙවින් අඩු මට්ටමකයි පවතින්නේ.
ඒ තත්ත්වය ගැන සෑහීමකට පත් වන්න බැහැ. ජනතාව ක්‍රමයෙන් සිවිල් සමාජ කාර්යයන්ට හුරු කළ යුතුයි. පසුගිය කාලයේ උතුරේ පුනරුත්ථාපනය කළ තරුණ පිරිස් යුද හමුදාවේ ඉංජිනේරු වැනි බළකා සඳහා බඳවාගැනීම් පවා සිදු කළා. අප ඔවුන්ගේ මිතුරන් සහෝදරයන් මිස සතුරන් නොවන බව ඒත්තු ගැන්විය යුතුයි.
යුද සමයේ උතුරේ ජනතාවගෙන් ජාතික ආරක්ෂාව පිණිස ලබාගත් ඉඩම් ආපසු පවරා දීම ක්‍රමයෙන් කළ යුතු වනවා. ඇතැම් විචාරකයන් කොළඹ වේදිකාවල සිට රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. රටේ ආරක්ෂාව ගැන දන්නේ ඒ විෂය ගැන දන්නා අයයි. උතුරේ ආරක්ෂාව සම්බන්ධව ස්ථානගතව සිටින හමුදාවට පමණයි ඒ ගැන දැනුමක් ඇත්තේ.
යුදහමුදාවත්, නාවික හා ගුවන් හමුදාවත් පොලීසියත් පමණයි මේ ආරක්ෂාව ගැන විෂය කරුණු නිසි ලෙස දන්නේ. ඒ කිසිවක් නොදැන තම උපන් බිම් නිවාස ජනතාවට ක්‍රමයෙන් ලබා දෙන විට කිසිදු ආරක්ෂක දැනුමක් නැති පුද්ගලයන් විසින් පවසන කතා ගැන හමුදාව කිසිදු ආකාරයකට කලබල වන්නේ නැහැ.
කොළඹ වේදිකාවල සිට උතුරේ ආරක්ෂාව ගැන දැනුමක් ලබාගන්නට බෑ. යුද්ධයක් නැති මේ සමයේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය භූමිය පමණක් තබාගෙන ජනතාවගේ ඉඩම් අයිතිය යළි ඔවුන්ට ලබා දිය යුතු වනවා. මේ භූමියේ කඩුල්ල දාන්න ඕන තැන දන්නෙ අපි. අපියි යුද්ධ කළේ. අපියි සංග්‍රාම භූමිය ගැන දන්නේ. අපියි මර්මස්ථාන ගැන දන්නේ.
උතුරේ ඇතැම් දේශපාලනඥයන් හමුදාවට එරෙහිව කටයුතු කරන බව මාධ්‍ය මඟින් වාර්තා වනවා. එහෙත් හමුදාව ඒ ගැන කලබල වී නැහැ; ඉදිරියේදී කලබල වන්නෙත් නැහැ. හමුදාවට දේශපාලනයක් නැහැ. හමුදාව ඔවුන් සමඟ සුහදව කටයුතු කිරීම පමණයි සිදු කරන්නේ.
යුද්ධ කළත් අවසානයේ යුද හමුදාවත් මේ රටත් හැර යාමට සිදු වුණා. ඒ කිසිදු ආකාරයක දේශපාලන ගොදුරක් වීමට නොහැකි නිසයි. රට හැර ගියත් ඒ තීරණය ගත් අය හෝ රට විවේචනය කිරීමට කටයුතු කළේ නැහැ. ඒ තමන් නිවැරැදි නම් වාසනාව දෛවය අනුවම තමන් සොයාගෙන එන නිසයි. රට හැර යෑමට වූ සිදුවීමම භාග්‍යයක් ලෙස සැලකීමට පුළුවන්. අවසානයේ හමුදාපති ධුරයටම පත්වීම් ලැබුණා. එවන් තත්ත්වයකට පත් වූ මෙරට ප්‍රථමයා ලෙසින්ද ඉතිහාසගත වනු ඇති.
යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව 4 හෝ 5 වැනි ස්ථානවල සිටියත් ජනාධිපතිතුමා මේ තනතුරට සුදුසුම වගකීම් දැරිය හැකි යුද බිමේ දස්කම්, මනා පළපුරුද්ද වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරන්නට ඇති. මෙවන් තත්ත්වයන් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, 2009 වසරේදී ජ්‍යෙෂ්ඨත්වයේ 8 හෝ 9 වැනි ස්ථානවල සිටි අය හමුදාපති තනතුරට පත් කරනු ලැබුවා. රටේ ආරක්ෂාව මුල් තැනට ගෙන කටයුතු කිරීමයි මෙහිදී වැදගත් වන්නේ.
මෙරට බුද්ධි අංශ සම්බන්ධව යම් යම් පිරිස් විවිධ මත දරනවා. යුද හමුදා නායකයන්ටත් බුද්ධි අංශවලටත් වඩා දැනුමක් මේ විවේචකයන්ට තියෙනවද කියන ගැටලුවයි මෙතනදී සැබැවින්ම ප්‍රශ්නය වන්නේ. බුද්ධි අංශවල කිසිදු අඩුවක් හෝ අකර්මණ්‍ය වීමක් සිදුව නැහැ. බුද්ධි අංශ ක්‍රියාත්මකයි යන්න පෙනී යන්නේ යම් සිදුවීමක් බුද්ධි අංශ මඟින් වාර්තා කරගෙන ඒ සම්බන්ධව කටයුතු කළ හොත් පමණයි. එවන් සිදුවීම් නැති වීම බුද්ධි අංශයේ අකර්මණ්‍ය වීමක් නොවෙයි.
එමෙන්ම යුද, නාවික, ගුවන් හමුදා ඒකාබද්ධ බුද්ධි අංශ ජාලයක් තිබෙනවා. ඒ සියල්ල නිසි පරිදි ස්ථානගතව තිබෙන්නේ. පාබළ හමුදාව වගේ බුද්ධි අංශ ප්‍රායෝගික තලයේ සිට පෙනිපෙනී කටයුතු කරන්නේ නැහැ.
රටේ සෑම විටම ව්‍යසනයකට මුහුණ දීමටයි යුද හමුදාව මුල් තැනක් දෙන්නේ. යුද්ධයක් දැන් නැති වුණත් ස්වභාවික විපත් වැනි ආපදා සඳහා අවශ්‍ය කරනු ආකාරයෙන් යුද හමුදාව සන්නන්ධ කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.
ඒ අනුව තිරසාර සංවර්ධනයක් මෙන්ම නවීකරණයක් යුද හමුදාව තුළ ඇති කිරීමට පියවර ගනු ලබනවා. අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර රථ ඇතුළු සියල්ල මිල දී ගැනීම් කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.
විවිධ චෝදනා යුද හමුදාවට විදෙස් රටවලින් ඇදී ආවත්, එක්සත් ජාතීන් විසින් අපේ භට පිරිස් යොදවාගෙන තිබෙන බවත් අමතක කළ යුතු නැහැ. ඒ සම්බන්ධව කවුරුත් කතා නොකිරීමත් කනගාටුවක්.
යුද හමුදාවේ සෙබළුන් සමඟ සමීප සබඳතාවක් පැවැත්වීම අසීරු වන්නේ නැහැ. සෙබළුන්ගේ ගැටලු ඔවුන් තුළින්ම විසඳාගැනීමයි වඩාත්ම වැදගත් වන්නේ. එවන් ක්‍රියාදාමක් කරා හමුදාව යොමු කිරීමට ඉදිරියේදී පියවර ගනු ලබනවා.
රටේ ආරක්ෂාව පමණක් නොවෙයි, මේ වන විට ඇති තවත් ගැටලුවක් වන්නේ හමුදාවෙන් පැන ගිය සෙබළුන්ගේ ප්‍රශ්නයයි. ඇතැම් අය අවිත් රැගෙන පලා ගොස් තිබෙනවා. ජනතාවගේ යුතුකම වන්නේ එම පිරිස් ආරක්ෂා කිරීම නොව, ඔවුන් පිළිබඳ තොරතුරු ලබා දීමයි. එසේ නොකළ හොත් එහි භයානක ප්‍රතිඵල අත් වන්නේ ඔබටමයි.