Friday, September 20, 2024

විනෝද සමයෙන් රටම සිනහ සාගරයේ ගිල්වූ බර්ටි ගුණතිලක දිවි රඟමඩලට සමුදෙයි

ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කහවත්ත රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇත.ජනප‍්‍රිය ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහනක් වූ විනෝද සමයහි ප‍්‍රධාන චරිතයක් රගපාමින් ඒ මහතා අතිශය ජනප‍්‍රියත්වයට පත්විය.

ප්‍රහසන නළුවෙකු ලෙස සිය කලා කටයුතු සිදුකළ ඒ මහතා දිවියෙන් සමු ගන්නා විට 98වන වියේ පසු විය.

බර්ටි ගුණතිලක මහතා 1924 අගෝස්තු 2 වන දින මහනුවර අම්පිටියේදී උපත ලබා තිබේ.

අම්පිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් ද්විතීක අධ්‍යාපනය ලැබූ ගුණතිලක මහතා ඊට පසු ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදුකර ඇත.

පාසල් කාලයෙන් පසු බර්ටි ගුණතිලක මහතා කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ සහකාර ගුරුවරයෙකු ලෙස සේවය කර තිබේ.

පසුව බර්ටි ගුණතිලක මහතා 1947 දී “ළමා පිටිය” වැඩසටහනෙන් රේඩියෝ සිලෝන් වෙත සම්බන්ධ වී ඇත.

1954 දී රේඩියෝ සිලෝන් හී බර්ටි ගුණතිලක මහතා සම්බන්ධ වු “විහිළු තහළු” විකට වැඩසටහන අතිශයින් ජනප්‍රිය විය.

1951 දී බර්ටි ගුණතිලක මහතා රංගනයෙන් දායක වු “බණ්ඩා නගරයට පැමිණීම” චිත්‍රපටය තිරගත විය.

ඉන්පසුව බර්ටි ගුණතිලක මහතා “පෙම් මල් මාලා”, “පාලම යට”, “දෙවියනි සත්‍ය සුරකින්න”, “මන මෝහිනී” සහ “සෝමි බෝයිස්” වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපටවල සහය ප්‍රහසන චරිත රැසකට දායක වී තිබේ.

1954 වර්ෂයේ දී එච්. ඩී. විජයදාස මහතා විසින් ගුවන් විදුලියේ ආරම්භ කළ විහිළු තහළු වැඩසටහනට ඇනස්ලි, සැමුවෙල් සමග ඔහු මුලින්ම දායක වූ අතර පසුකාලීනව වරින් වර ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා ද පසු කලක දී මර්සි එදිරිසිංහ සමග ද එකතු වූයේය.

විනෝද සමය කථා මාලාව ඔස්සේ මෙරට ජනයා අතර ජනප්‍රියත්වයට පත්වූ ඒ මහතා නව ආරකින් ප්‍රහසන කළාව ප්‍රචලිත කළ අයෙකි.එදා විනෝද සමය වැඩටහන තුළින් සුවහසක් ජනී ජනයාගේ සිත් සැනසු,විනෝදය හාස්‍ය මෙන්ම යම් පාඩමක්ද සමාජයට දුන් ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු හා බර්ටි ගුණතිලක යන තුන් කට්ටුවෙන් ජීවත්ව සිටි අවසානයා වු බර්ටි ගුණතිලක නැමැති අසහාය කලාකරුවාද අපෙන් සදහටම සමුගත්තේ තවත් යුගයක් නිමාකරමිනි.

‘ඌ මට ගැහැව්වා, මට ඌ ගැහැව්වා’ අදටත් බර්ටි ගුණතිලක මහතාගේ විහිළු අතර රැඳී පවතින වැකියකි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles