Monday, January 27, 2025

විපක්ෂ නායක කාදිනල් හිමියන් හමුවෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය පැන නැගී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ඊයේ (04) පැවසීය.

විපක්ෂ නායකවරයා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිල නිවසේදී ඊයේ බැහැ දුටුවේය.

ඉන් අනතුරුව ජනමාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු විවිධ කුමන්ත්‍රණකරුවන් විවිධාකාර මඩ ප්‍රහාර සහ කුමන්ත්‍රණ දියත් කරමින් සහ පදනම් විරහිත අභූත චෝදනා නගමින් සිය චරිතය ඝාතනය කිරීම සඳහා කටයුතු  කරමින් සිටින බවයි.

ප්‍රහාරය සිදු වූ සැනින් ඒ පිළිබඳව සොයා බලමින් ප්‍රහාර සිදු වූ දේවස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම උදෙසා තමන් ඉතා කඩිනමින් කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා මේ මිලේච්ඡ ප්‍රහාරය පිටුපස සිටින මහා මොළකරුවන් ගැන විමර්ශනය කොට වහාම අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් කියා සිටියා.

නමුත් ආණ්ඩුව එය සිදු කරනවා වෙනුවට විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා තමා පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම හඬ නැඟූ සිය මන්ත්‍රීවරුන්ට ඒ සඳහා ශක්තිය සහ ධෛර්යය නිරන්තරයෙන් ලබා දුන්නා මිස, ඔවුන්ගේ මතවලට අංශුමාත්‍රයක බලපෑමක් නොකළ බවද පැවසුවා.

තමා සහ බුද්ධි අංශ ප්‍රධානියා අතර කිසිම ආකාරයක සබඳතාවයක් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගේ උපදෙස් පිළිගෙන දේශපාලනය කිරීමේ පුරුද්දක් තමාට නැති බව ද වැඩිදුරටත් කියා සිටියා.

මේ ප්‍රහාරයේ යථාර්ථය රටට හෙළි නොකරන තාක්කල් එය සුබදායක නොවන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්නට නම් ඒකාන්තවම එහි මහ මොළකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් අවධාරණය කළා.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස තිබෙන දේශපාලන පසුබිම ආදිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය වඩ වඩාත් පැනනගිමින් තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ යථාර්ථය රටට හෙළි නොකරන තාක්කල් රටට සුබදායක නොවන බව තමන් විශ්වාසය බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන තෙක් කාදිනල්තුමන් ප්‍රමුඛ කතෝලික ජනතාව විමසිල්ලෙන් සිටින බව ආණ්ඩුව අමතක නොකළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ රජයක් තුළින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර එහි මහ මොල කරුවන්ට තරා තිරම නොබලා දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අතර පෑලියගොඩ සිට මීගමුව දක්වා ප්‍රදේශයේ කලපු සංරක්ෂණයේ නාමයට මුවාවෙමින් නාගරීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තුලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විපතට පත් වන බව‍යි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles