Sunday, September 22, 2024

විමල් ඇතුළට යනකොට -නි. ඇමති හා අශු මාරසිංහ ගැනත් පරීක්ෂණ

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 7 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකු හැන්නදිගේ යන දෙදෙනා මෙලෙස රිමාන්ඩ් බාරයට පැමිණවූ බව අප වාර්තාකරු පවසයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වීරවංශ මහතා පසුගිය 10 දා අත්අඩංගුවට ගනු ලැබීය.

රජයට අයත් වාහන අයථා පරිහරණය තුළින් රුපියල් නව කෝටි දහසය ලක්ෂ තිස් පන්දහසකට වැඩි මුදලක් රජයට පාඩු කළ බවට මොවුන් දෙදෙනාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම නඩුව පවරා ඇත.

අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ මොවුන් අත්අඩංගුවට ගැනීමට තරම් සාධාරණ සාක්ෂි නොමැති බවයි.

එසේම අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් නීතිමය සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා අසමත්ව ඇති බවද විත්තිය පාර්ශවයෙන් නීතිඥයින් පෙන්වා දී තිබේ.

එමෙන්ම විමල් වීරවංශ මහතාගේ දියණිය මෙවර අ.පො.ස (සා/පෙ) විභාගයට පෙනී සිටින බැවින් ඇයගේ මානසිකත්වය සලකා බැලිය යුතු බවත්, මේ සියල්ල සුවිශේෂී කරුණු ලෙස සලකා සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටින බව නීතිඥයින් පවසා ඇත.

එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කියා සිටියේ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි ප්‍රමාණවත් බව හා සෙසු කරුණු සැකකරුවන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු නොවන බවයි.

එමෙන්ම මෙම සිදුවීම සිදුවූ යුගයේ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලසන්ත අලගියවන්න සහ එවක රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ අශු මාරසිංහ යන අය සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles