Thursday, September 19, 2024

විමල් – උදය හිටපු පාර්ලිමේන්තු අසුන්වලින් පස්සට විසි වෙති . අගමැතිගෙත් උපදෙසින් ඇමති ආරක්ෂාව දිගටම !

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුගේ ඇමැති තනතුරු වෙනස්වීම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේද වෙනසක් කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

මේ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු ඇමැතිවරුන් සඳහා ආණ්ඩුපක්ෂයේ පසුපෙළ අසුන් පැනවූ බවද ඔහු සඳහන් කළේය.

විමල් වීරවංශ මහතාට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 73 වැනි ආසනයත් උදය ගම්මන්පිල මහතාට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 78 වැනි ආසනයත් මේ අනුව හිමිවනු ඇත.

කර්මාන්ත අමාත්‍යධූරය හිමි වූ එස්.බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයකු හෙයින් ඔහුට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ දෙවැනි ආසනය ( හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආසනයට යාබද ආසනය ) පනවනු ලැබ ඇත.

ඉදිරි පෙළ දෙවෙනි ආසනය මීට පෙර පනවනු ලැබ තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාටය.

කෙසේවෙතත් ඇමැති ධූරයේ වගකීම්වලින් ඉවත් වුවද ඇමැතිකමෙන් අස්වී නොමැති නිසා වාසුදේව නානායක්කාර මහතාගේ ආසනය වෙනස් නොවනු ඇත.

ප්‍රවාහන අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් දිලුම් අමුණුගම මහතාට හිමිවන්නේ ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ තිස්වැනි ආසනය වේ.

එසේ වෙනස් නොකෙරෙන්නේ ඔවුන්ගේ ඇමති ධුරයන්හි විෂයන්වල වෙනසක් පමණක් සිදුවූ නිසා යැයි වේත්‍රධාරිවරයා සදහන් කළේය.

තවද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධූර වැලීම් නෙරපුවද තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ඔවුන් සඳහා ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ගණන ද අඩු කිරීමට නියමිතව තිබුණද අගමැතිවරයාගේ උපදෙස් මත ඇමැති ආරක්ෂාව දිගටම ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් ලබාදෙන්නේ ආරක්ෂකයින් දෙදෙනෙකු පමණි. ‍

මෙි අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (07) සවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙයි.

රටෙි ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles