Saturday, September 21, 2024

වෙඩිතැබීම සම්බන්ධයෙන් කිසිදු දෙයක් දන්නේ නැ-වෛද්‍ය සමීර සේනාරත්න

තමන් තමාට වෙඩිතබා ගත් බවට පළවන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් කිසිදු දෙයක් තමන් නොදන්නා බවත් සයිටම් හි හිටපු CEO වෛද්‍ය සමීර සේනාරත්න මහතා පවසයි.

මෙම වෙඩිතැබීම තමන් විසින් සැලසුම් නොකළ බවත්, වෙඩිතැබීම සම්බන්ධයෙන් දැනට පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති තැනැත්තා තමන් නොහඳුනන බවත් සේනාරත්න මහතා අද  සඳහන් කළේය.

එසේ වුවද දැනට දවස් දෙකකට පමණ පෙරාතුව පොලීසිය විසින් මෙම සිද්ධියට අදාළව තමාගෙන් කටඋත්තරයක් ලබාගත් බවත්, පොලීසිය ඒ මොහොතේ තමාට කාර්ණිකව සැලකූ බවත්, එහිදී කෑම බීම පවා ලබාදුන් බවත් , ඒ සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බවත් ඔහු කියා සිටියේය.

එසේ වුවද ඇතැම් වෙබ් අඩවිවල තමන් අත්අඩංගුවට ගත්බවට වාර්තා පළවූ බවත්, එහිදී අත්අඩංගුවට ගැනීමක් හෝ හිරිහැර කිරීමක් කිසිසේත්ම සිදුනොවූ බවත්, ඉදිරියටත් පොලිස් පරීක්ෂණ සඳහා සම්පූර්ණයෙන්ම සහය ලබාදෙන බවත් සේනාරත්න මහතා අවධාරණය කළේය.

එහෙත් මේවන විට තමන් සිටින්නේ සමාජය ගැන ඉමහත් කලකිරීමෙන් බවත්, තමන්ව මානසික වැට්ටවීම සඳහා සංවිධානාත්මකව පිරිසක් ක්‍රියාත්මක වන බවත්, කෙනෙකුට කරදරයක් වූ අවස්ථාවකදීත් මේ ආකාරයේ අවලාද නඟන අය සිටීම ගැන කලකිරීමක් ඇති වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම සිදුවීම හරහා සයිටම් ආයතනයට යම් බලපෑමක් සිදුවූ බැවින් පොලිස් පරීක්ෂණ කටයුතු නිමාවන තෙක් තමන්ට නිවාඩු ලබාදෙන ලෙස තමන් සයිටම් සභාපති, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටි බවත්, ඒ අනුව තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබුවේ තමන්ම බවත්, තමන් ඉවත් කළ බවට පළවන පුවත් අසත්‍ය බවත් හෙතෙම සඳහන් කළේය..

කෙසේ වුවද අද දෙරණ සමග අදහස් දක්වමින් වෛද්‍ය සේනාරත්න මහතා තවදුරටත් කියා සිටියේ තමන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන්ද ඇතැම් අය විවිධ අවලාද නඟන බව හා තමන් වෛද්‍යවරයෙකු ලෙස ඉහළම සුදුසුකම් ලබා ඇති බවයි.

තමාට පවත්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයම පිළිගන්නා රුසියානු වෛද්‍ය උපාධියක් බවත්, එය ලංකාවේ වෛද්‍ය සභාව විසින් වෛද්‍ය ආර්.එස් සේනාරත්න ගේ අනුමැතියෙන් පිළිගෙන ඇති බවත්, ඊට අමතරව තවත් උපාධි 3ක් පවත්නා බවත්, එම සුදුසුකම් සම්බන්ධයෙන් වැඩිදුරට කියන්නට අකමැති නමුත් අවශ්‍ය ඕනෑම කෙනෙකුට එම සුදුසුකම් තහවුරු කිරීමට සූදානම් බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.

මීට අමතරව විදේශයන්හි ඉගෙනුම ලැබූ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව මගින් පවත්වන ලද Act 16 විභාගය තමන් නව වතාවක් අසමත්වූ බවට තවත් කෙනෙකු ප්‍රකාශයක් කර ඇති බවත්, තමන් එම විභාගය අසමත්ව නැති බවත්, එවන් විභාගයක් ලිවීමට තමන්ට වුවමනාවක් නැති බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles