Thursday, January 23, 2025

වෙසක් සැමරුමට රටම සූදානම්

සිංහල බෞද්ධ ජනතාවට මෙවර අප්‍රේල් මාසය අන් වසර වලට වබා බෙහෙවින් සුවිශේෂි වන්නේ ය. ඒ සිංහල අවුරුද්දෙන් දෙසතියක් ඉක්ම යන්නට මත්තෙන් අප්‍රේල් අවුරුදු මාසයේම මෙවර වෙසක් සැමරීමට තිබෙන නිසාවෙනි. මේ වන විට සිංහල දමිල අලුත් අවුරුද්ද ඉක්ම ගොස් හරියටම සතියක කාලයකි. එසේම වෙසක් උත්සවය සැමරීමට ඇත්තේද තව හරියටම සතියක කාලයකි. වෙන වසරවල බක් මාසය ශ්‍රි ලාංකිකයාට වැදගත් වන්නේ සිංහල අවුරුද්ද නිසාවෙනි. වෙසක් මාසයේ මැද වන විට බෞද්ධ ජනතාව සූදානම් වන්නේ වෙසක් උත්සවය සැමරීමටය. මේ නිසා බොහෝ ශ්‍රී ලාංකිකයන් මුළු බක් මාසයේම අලුත් අවුරුද්ද සමරතත් මෙවර සිය අලුත් අවුරුදු කර්තව්‍යයන් වේලාසනින් නිම කරන්නට සිදුවූයේ අවුරුදු ගෙවුණ සැනින් වෙසක් පොහොය කට ළඟටම පැමිණ ඇති නිසාවෙනි. මේ වන විට ලංකාවේ සිවු දෙසින්ම අවුරුදු හඬ මැද්දේ වෙසක් සැරසිලි දකින්නට ඇත්තේය. මහා පිට්ටනි මැද තොරණ ඉඳිවෙද්දි ඒ ආසන්නයේම තවමත් අවුරුදු උත්සව පැවැත්වෙන්නේ ය. අවුරුදු විනෝදයත් සමඟම සියලු බෞද්ධයෝ එළ‍‍ඹෙන වෙසඟට මේ වන විට ලක ලෑස්ති වෙන්නේ යුහුසුලුවය. ලංකාවේ සතර දිග් භාගයෙන්ම මේ වන විට වෙසක් සැරසිලි දිස් වන්නට පටන් ගෙන ඇත්තේ වෙසක් උ‍ලෙළට එතරම් කාලයක් තව නොමැති නිසාවෙනි. කාලය කොතරම් කෙටි වුවත් ඒ කෙටි කාලයෙන් උපරීම ප්‍රයෝජන ගනිමින් පෙර වසරවලට වඩා නොදෙවෙනි ආකාරයෙන් වෙසක් උත්සවය සැමරිම සියලු බෞද්ධයන්ගේ අපේක්ෂාව වී ඇත. මේ ලිපිය ඒ වෙසක් සූදානම ගැනය.

වෙසක් රාජ්‍ය උත්සවය

රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දී පැවත්වෙයි. මේ වන විටත් එම කටයුත්ත වෙනුවෙන් ලහි ලහියේ සූදානම් වන්නේ පෙර වසරවල රාජ්‍ය උත්සවයන්ට වඩා මෙවර වඩාත් ආකර්ශනිය මට්ටමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්විමටය. අප්‍රේල් මස 26 දා සිට මැයි මස 2 වැනි දින දක්වා පැවැත්වෙන වෙසක් සතිය වෙනුවෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරය ආශ්‍රිතව මෙන්ම වයඹ පළාතේ ආගමික උත්සව රැසක් මේ වන විට සූදානාම් ‍කෙරේ. මෙම සතිය පුරාවටම විද්වත් දේශන, පරිසර ප්‍රවර්ධන වැඩ සටහන් මෙන්ම ආහාර දන්සල් ඇතුළු වෙසක් සැරසිලිවලින් ඒකාලෝක කිරීමට බුද්ධ සාසන අමාත්‍යාංශයත්, වයඹ පළාත් සභාව මෙන්ම එහි ප්‍රාදේශිය සභාත් සූදානම් වෙයි. වෙසක් සැරසිලිවලට අතිරේකව වෙසක් සිරියෙන් නැහැවෙන පුරා විද්‍යා මෙන්ම අධ්‍යාපන ප්‍රදර්ශන කුටි, මධ්‍යම රාත්‍රිය තෙක් දිවෙන වෙසක් නාට්‍ය මෙන්ම භක්ති ගීත සන්දර්ශනද මේ වෙසක් සතිය පුරාවටම රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන කලාපයේ පැවැත්විමට සූදානම් වෙති.

බුද්ධ රෂ්මි වෙසක් කලාපය

හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය මෙන්ම අරලියගහ මන්දිරය එක්ව 12 වැනි වරටත් සංවිධානය කෙරෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ වැඩ කටයුතුද මේ වන විට ලහි ලහියේ සූදානම් වෙමින් පවතියි. මෙම වෙසක් කලාපයට සමගමීව දින හතරේම සර්වඥ ධාතුන් හා කෞතුක භාණ්ඩ රැසක්ද අරලිය ගහ මන්දිරයේදි ප්‍රදර්ශනය කිරීමට සූදානම් ය. මෙවර බුද්ධි රෂ්මි වෙසක් කලාපයට නිර්මාණාත්මක වෙසක් පහන් කූඩු 220 ක් හා වෙසක් තොරණ දෙකක්ද ප්‍රදර්ශනයට සූදානම් වෙමින් පවතින අතර පැමිණෙන පිරිසට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමට දන්සල් කිහිපයක්ද ලක ලෑස්ති වෙමින් පවතියි. බුද්ධ රෂ්මි වෙසක් කලාපය සෑම දිනකම පස්වරු 6 ට ආරම්භ වන අතර පසුදා අලුයම 4 දක්වා පැවැත්වීමට සූදානම් වේ. මෙම ප්‍රදර්ශනය සඳහා රාජ්‍ය ආයතන 26 ක් හා උතුරු නැගෙනහිර පළාත් සභා හැර අනෙක් පළාත් සභා සහභාගි වෙයි. මෙවර බුද්ධ රෂ්මි වෙසක් කලාපයට සමගාමීව කළුතර, ගාල්ල, මාතර , කුරුණෑගල, අනුරාධපුර හා මහනුවර යන දිස්ත්‍රීක්ක හයේ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට බලාපොරොත්තු වෙයි.

අමාදහර වෙසක් කලාපයෙ

වසර කිහිපයක් මුළුල්ලේ කොළඹ ලේක්හවුස් පරිශ්‍රෙය් පැවැත්වෙන ‘අමාදහර වෙසක් කලාපය‘ මෙවරද අන් වසර වලට වඩා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට ලේක්හවුස් ආයතනය කටයුතු යොදමින් පවතියි. අප්‍රේල් මස 28,29,30 හා මැයි මස 1 වන දින දක්වා පැවැත්වෙන ලේක්හවුස් අමාදහර වෙසක් කලාපය සැරසීමේ කටයුතු මේ වනවිටත් ලේක්හවුස් ආයතනය විසින් ආරම්භ කර ඇති අතර ආයතනය තුළ මෙන්ම ලේක්හවුස් පරිශ්‍රය අවට විදුලි බුබුළු අලංකාර වෙසක් කූඩු මෙන්ම නෙළුම් මල් කූඩු වලින් අලංකාර කෙරෙයි. අප්‍රේල් මස 29 හා 30 යන දින දෙකෙහි ගුවන් හා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම් සහිතව බොදු බැති ගී සංදර්ශනයක් පැවැත්වෙන්නේ වෙසක් සිරිය තවත් ආලෝකවත් කරමිනි. මෙයට ලංකාවේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන්ද සහභාගි වීමට නියමිතය. එපමණක් නොව වෙසක් සිරිය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන කොත්තමල්ලි දන්සලට අමතරව මෙවර ප්‍රථම වරට වෙසක් බත් දන්සලක්ද ලේක්හවුස් ආයතනය විසින් සංවිධානය කර ඇත්තේ 29 හා 30 යන දින දෙකේදී ය. එපමණක් නොව එහි කොටසක් වශයෙන් පැවැත්වෙන වෙසක් චිත්‍ර තරගයේ ජයග්‍රාහක ග්‍රාහිකාවන් තෝරා ගැනීම් අවසන්වී ඇති අතර එම අලංකාර චිත්‍රද වෙසක් කලාපයේදිම ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

බෞද්ධාලෝක වෙසක් කලාපය

සීල සමාධි වැඩ සටහන්වලට මුල් තැනක් දෙමින් කොළඹ බෞද්ධාලෝක මාවතේ 17 වැනි වරටත් පැවැත්වෙන ‘බෞද්ධාලෝක වෙසක් කලාපය‘සුපුරුදු පරිදි මේ මස 29, 30 හා මැයි මස 1,2 යන දින වල පැවැත්වීමට බෞද්ධ මහා සම්මේලනය කටයුතු යොදමින් පවතියි. එම දිනවල සවස 6 ට ආරම්භ වන මෙම වෙසක් කලාපය පසුදා අලුයම 2 දක්වා පැවැත්වෙන අතර ආරම්භක 29 දා මහනුවර ගෙඩිගේ රජමහා විහාරයෙන් පෙරහරකින් වැඩම වන සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතර එදිනම සවස 7 ට අඩි 60 ක් උස මහා සීල ජාතකය නිරූපනය කරන තොරණද විවෘත කරන්නට සංවිධායක මඩුල්ල සූදානමින් සිටිති. බෞද්ධාලෝක මාවත දෙපස වෙසක් පහන් කූඩු 100 කින් පමණ අලංකාර වන අතර මේ දින හතරේම ආකේඩ් පරිශ්‍රයේ හා බෞද්ධ මහා සම්මේලන වේදිකාවක අලංකාර භක්ති ගීත සන්දර්ශන දෙකක්ද පැවැත්වේ. බත්,බීම ,ඇපල් දන්සල් කිහිපයක් නරඹන්නන් වෙනුවෙන් විවෘතව පවතින අතර අවසන් උත්සවය වන බුද්ධාභි වන්දනාව අවසන් දින රාත්‍රී 7 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොළඹ මහ නගර සභා වෙසක්

වෙසක් පුන් පොහෝ දින උදෑසන කොළඹ නගර සභා පරිශ්‍රයේදි ශිල ව්‍යාපාරයක් පැවැත්වෙන අතර එදින පස්වරු 5.30 සිට කොළඹ නගර සභා පරිශ්‍රයේ හා විහාර මහා දේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට පහන් 1000 කින් යුත් ආලෝක පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර රාත්‍රී 7ට විහාර මහාදේවි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් බුද්ධ රෂ්මි වළල්ලක් විවෘත කිරිමට නියමිතය. මීට අමතරව මේ පරිශ්‍රයේදි භක්ති ගීත සංදර්ශන වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයන් පවත්වා අලංකාර වෙසඟක් ළඟා කර දීමට සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ.

අවුරුද්දේ උණුසුමත් සමඟ මේ වෙසක් කලාපයන්ට අමතරව බොහෝමයක් පළාත් වල වඩාත් උණුසුම් ආකාරයෙන් තොරණ, දන්සල් මෙන්ම වෙසක් පහන් කූඩු ඉදිවෙමින් පවතියි. බොහෝමයක් පාර තොට වෙළෙදුන් අවුරුද්දේන් අනතුරුව කිසිදු නිවාඩුවක් නොගෙන වෙසක් සඳහා සූදානම් වූයේ බෞද්ධයින්ගේ උතුම් වෙසක් පොහොය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ආලෝකවත් කරන්නටය.

මේ වන විට තැන තැන තොරණ ඉදිවීමේ කටයුතු අවසන් වෙමින් පවතියි. වීථියත් වීථියක් පාසා වෙසක් සැරසිලි වෙළෙන්දෝය. ජනතාවට දැන් අවුරුදු උණුසුම මැකී ගොසිනි. ඔවුහු දැන් දැන් සූදානම් වන්නේ තවත් සතියකින් එළඹෙන වෙසක් උත්සවය දෝතින් පිළිගන්නටය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles