Monday, December 23, 2024

වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් පැවති ක්‍රමවේදයටම පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්

ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් පවත්වා ගෙන ආ ක්‍රමවේදය ට ම ඉදිරියටත් පවත්වා ගෙන යන්නැයි මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමන් අද දින සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ අද (04) පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.

මෙතෙක් පැවැති ක්‍රමවේදය ඇතැම් නිලධාරීන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට යාමෙන් අර්බුද මතුවන බව පෙන්වා දුන් ගරු අගමැතිතුමන්, දේශපාලන මතවාද අනුව යමින් රජය අපහසුතාවට පත් නොකර ආයතන සංග්‍රහයට අනුව ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නෙය.

වෛද්‍ය පරිපාලනය ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ලෙස දෙකොටසකට බෙදා ක්‍රියාත්මක නොකර එක ම නියැදියක තබා කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහි දී යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, අග්‍රාමාත්‍ය සහකාර ලේකම් ෆාතිමා ෆර්සානා, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles