වෛද්‍ය ෂාෆිට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නැයි නීතිපති දැනුම් දෙයි

0
481

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ලවීම මත සේවය අත්හිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතාට හිමි විය යුතු හිග වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (23) අභියාචනාධිකරණයේදී දැනුම් දුන්නේය.

තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ චන්දන කැන්දන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ෂාෆි මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදී මේ බව සඳහන් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදුකළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යොමුකර තිබූ ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරමිනි.

එම ලිපිය මඟින් අනාවරණය කර තිබුණේ ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාල සීමාව තුළ ඔහුට හිමි විය යුතු මූලික වැටුප, දීමනා, ජීවන වියදම් දීමනා සහ අතුරු දීමනා ආදිය ගෙවීමට පියවර ගැනීමට තීරණය කර ඇති බවටය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැන්දන්ගමුව මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගනු ලැබීය.

පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි 31 වනදා තෙක් කල් දැමුණි.

පසුගිය ආණ්ඩු සමයේ දී සාෆි ශිහාබ්ඩීන් වෛද්‍යවරයා කාන්තාවන් වඳභාවයට පත් කළ බවට චෝදනා එල්ල විය. නමුත් ඒ පිළිබඳ සිදු කළ පරීක්ෂණ හරහා තහවුරු වුණේ, එය පදනම් විරහිත චෝදනාවක් ලෙස යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here